ඔක්තෝබරයේ දී බඩු මිල ඉහළට..

    November, 2, 2015

    කොළඹ පාරිභෝගිකයින්ගේ මිල දර්ශකයේ වෙනස්වීම්වලට අනුව පසුගිය ඔක්තෝබර් මාසයේ දී උද්ධමනය 1.7% දක්වා ඉහළ ගොස් තිබේ. සැප්තැම්බර් මාසයේ දී උද්ධමනය -0.3% ක වාර්තාගත අගයකට පහළ බැස තිබූ අතර ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත වාර්තා පවසන්නේ වාර්ෂික සාමාන්‍ය උද්ධමනය 0.7% මට්ටමේ තවදුරටත් රැඳී තිබෙන බවයි.

    මෙලෙස ඔක්තෝබර් මාසයේ දී උද්ධමනය ඉහළ යාමට බල පෑ හේතූන් ලෙස වාර්තා වන්නේ ආහාර කාණ්ඩයේ අයිතම කිහිපයකම සිදු වූ මිල ඉහළ යාමයි. සහල්, මාළු, කරවල, උම්බලකඩ මෙන්ම ඇතැම් පළතුරු වර්ගවල මිල ගණන් ද ගෙවී ගිය මාසයේ දී වැඩි වී තිබේ.

    එමෙන්ම එළවළු, අල, රතුළූණු, අමුමිරිස්, වියළි මිරිස්, දෙහි හා සීනිවල මිල ගණන් ද ජන හා සංඛ්‍යාලේඛන වාර්තා අනුව වැඩි වී ඇත. කෙසේ වෙතත් එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ පසුගිය මාසය තුළ දී කුකුළු මස්, බිත්තර හා පොල් මිල පහත ගොස් ඇති බවයි.