ඔටාරා පදනම නව පරපුරේ සත්ව ආරක්ෂකයින් දිරිමත් කරයි

    September, 17, 2016

    සත්ව කරුණාව දක්වන අනාගත පරපුරක් ඇති කිරීමට උරදෙමින් ඔටාරා පදනම විසින් දෙහිවල සත්ත්වෝද්‍යානයේ වෙසෙන සතුන්ගේ ජීවිතය තේමාකර ගනිමින් සංවිධානය කළ ළමා චිත‍්‍ර තරඟයේ ජයග‍්‍රාහකයින්ට ත්‍යාග ප‍්‍රදානය කිරීමේ උත්සවය පසුගියදා සිත්ගන්නා සුළු අයුරින් පැවැත්වීය.

    මෙම වැඩසටහන සඳහා ළමුන් 200ක් පමණ ඉතාමත් උද්යෝගයෙන් සහභාගී වූ අතර එයට දෙහිවල සත්ත්වෝද්‍යානයේ සතුන්ගේ ජීවිතය විදහා දැක්වෙන චිත‍්‍ර ප‍්‍රදර්ශනයක්ද ඇතුළත් විය. ඔටාරා පදනම විසින් කළ ආරාධනය පිළිගනිමින් අවුරුදු 05 ත් 10 ත් අතර ළමුන් සිය ගණනක් එවා තිබූ චිත‍්‍ර තුළින් තෝරාගත් චිත‍්‍ර මෙහිදී ප‍්‍රදර්ශනය කර තිබුණි.

    ශ‍්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවති මෙම ත්‍යාග ප‍්‍රදානෝත්සවයේදී පළමු ස්ථාන දිනාගත් ළමුන් තිදෙනකුට රුපියල් 25,000 බැගින්ද, දෙවන ස්ථාන දිනාගත් ළමුන් තිදෙනෙකුට රුපියල් 10,000 ක් බැගින්ද, තෙවන ස්ථාන දිනාගත් ළමුන් තිදෙනෙකුට රුපියල් 5,000 බැගින්ද ඔටාරා පදනම විසින් පිරිනැමීය. පදනම සඳහන් කරන්නේ අවුරුදු 11 ත් 16 අතර ළමුන් වෙනුවෙන් මේ ආකාරයේම වැඩසටහනක් එළඹෙන ඔක්තෝම්බර් මාසයේදී සංවිධානය කරන බවයි.

    ‘‘අපි සියල්ලන්ම සතුන්ට ආදරය දැක්වීමටත් ඔවුන් සමග සහජීවනයෙන් සිටීමටත් උපතේ සිටම දන්නවා. නමුත්, ක‍්‍රමයෙන් වැඩිහිටියන් වනවිට එම හැඟීම අපගෙන් ගිලිහී යනවා. මේ නිසා, සතුන්ට ආදරය දැක්වීමටත් ඔවුන් සමග සහජීවනයෙන් වාසය කරමින් කරුණාවන්ත පුරවැසියන් වීමට ළමුන්ව හුරු කිරීමත් ඒ පිළිබඳව ඔවුන් දැනුවත් කිරීමත් ඉතාමත් වැදගත්ල’’ යනුවෙන් මෙම වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් ඔටාරා පදනමේ සමාරම්භක සහ අධ්‍යක්ෂිකා, ඔටාරා ගුණවර්ධන මහත්මිය පැවසුවාය. ‘‘මෙම චිත‍්‍ර තරඟය සඳහා ලැබුණු ප‍්‍රතිචාරයෙන් අපි වඩාත් දිරිමත් වුණා. ඒ වගේම බොහෝ චිත‍්‍ර තුළින් ඉදිරිපත් කර තිබූ හැඟීම් සහ ආදර්ශයන්ද අපට ධෛර්යක් ගෙන දුන්නා. අපි විශ්වාස කරන්නේ මෙවැනි වැඩසටහන් මගින් යම් පමණකට හෝ බලපෑමක් ඇතිවී අපගේ අනාගත පරපුර සතුන්ට ආදරයෙන් සහ කරුණාවෙන් සැලකීමට පෙළඹෙනු ඇති බවයි.’’

    ‘සත්ව සුරකින්නෝ’ යනුවෙන් නම්කර තිබූ මෙම චිත‍්‍ර ප‍්‍රදර්ශනය සහ ත්‍යාග ප‍්‍රදානෝත්සවයේදී ‘සත්ව අයිතිවාසිකම්’, සතුන්ගේ නිදහස’ සහ ‘සත්ව ලෝකය සහ මිනිස් ලෝකය’ යන මාතෘකා ඔස්සේ කුඩා ඉදිරිපත් කිරීම් සිදුකරන ලදී. මෙහිදී, චිත‍්‍ර වැඩමුළුවක්ද, රූකඩ සංදර්ශනයක් ඇතුළු ළමුන්ගේ විනෝදාස්වාදය වෙනුවෙන් වැඩසටහන් රැුසක්ද සංවිධානය කර තිබුණි.

    සේයාරූ වලින් දැක්වෙන්නේ ඔටාරා පදනම විසින් ළමුන් වෙනුවෙන් සංවිධානය කළ මෙම වැඩසටහනේ අවස්ථා කිහිපයකි.