ඔන්ලයින් ක්ෂණිය ණය දෙන බවට ඔබටත් ඇමතුමක්, පණිවුඩයක් ලැබුණා ද?

    November, 11, 2025

    ක්ෂණික ණය පහසුකම් ලබා දෙන බවට පවසමින් දුරකතන සහ සමාජ මාධ්‍ය හරහා පැතිරෙමින් පවතින දැන්වීම් පිළිබඳව පැමිණිලි 100කට වැඩි ප්‍රමාණයක් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තාමේන්තුවට, මූල්‍ය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ අදාල පොලිස් ස්ථාන වලට ලැබී ඇති බව සහකාර පොලිස් අධිකාරී, පොලිස් මාධ්‍ය ප්‍රකාශක එෆ්. යූ. වුට්ලර් මහතා පවසයි.

    ඔහු මේ බව පවසා සිටියේ අද (11) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී යි.

    ඔහු එහි දී පවසා සිටියේ මේ සම්බන්ධයෙන් කිසියම් පුද්ගලයෙකු හට නොහදුනන දුරකතන අංකයක් හරහා Whatsapp හෝ සමාන්‍ය ඇමතුමක් ලැබෙන්නේ නම් එය ප්‍රතික්ෂේප කළ යුතු බවයි.

    තව ද ලැබී ඇති පැමැණිලි වලට අනුව අදාල සැකකාර පාර්ශවයන් මේ වන විටත් අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇති බවද සහකාර පොලිස් අධිකාරීවරයා වැඩි දුරටත් පවසා සිටියේ ය.

    "මෙම දිනවල ණය පහසුකම් ලබා දෙන බවට පවසා ඇතැම් දුරකතන සහ සමාජ මාධ්‍ය හරහා ක්ෂණික වූත් පහසු වූත් ණය පහසුකම් ලබා දිය හැකි බව සමාජයේ පැතිරෙනවා. මේ වන විට එම ණය පහසුකම් කඩිනමින් ලබා ගැනීම සඳහා අපේ මහජනතාව උනන්දු වෙලා තියෙනවා. මේ වන විට පැමැනිලි 100කට වැඩි ප්‍රමාණයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තාමේන්තුවට සහ මූල්‍ය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඒ වගේම ඒ අදාල පොලිස් ස්ථාන වලට ලැබිලා තියනවා. ඒ නිසා අපි මහජනතාවට කියන්නේ ඔබට හදිසි වූ ණයක් ලබා ගැනීම සඳහා ඔබ දන්නා හඳුනන්නේ නැති Whatsapp අංකයකින් හෝ අංකයකින් ඔබට සම්බන්ධ වන්නේ නම් ඔබ එය ප්‍රතික්ෂේප කළ යුතුයි. ඔබ ණයක් ගන්නවනම් ලියාපදිංචි මූල්‍ය ආයතනයක් සම්බන්ධ කරගනිමින් ඒ අවස්ථාව සලසාගන්න. මේ වන විට එම ආයතන මගින් ඔබට රුපියල් 20,000ක ණයක් ලබා දී එම ණයට සමගාමීව සති දෙකක් ඇතුලත එහි පොලිය අසාධාරණ පොලියක් ඉල්ලනවා. ඒ වගේම නිතර නිතර ඔබට පීඩාකාරී අන්දමට ඔබගේ දුරකතන වලට සම්බන්ධ වෙනවා. මේ සම්බන්ධයෙන් ලැබිලා තියන පැමිණිලිවලට අපිට ඒ අදාල සැකකරු පාර්ශවයන් මේ වන විට අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබිලා තියනවා. ඒ නිසා ඒ පණිවිඩය අපි මහජනතාවට ලබා දිය යුතුයි."