ඔමේගා ලයින් සමාගම ජනාධිපති අපනයන සම්මානයෙන් පිදුම් ලබයි

    January, 18, 2016

    ශී‍්‍ර ලංකාවේ ප‍්‍රමුඛතම අපනයන ඇගළුම් නිෂ්පාදන සමාගමකවන ඔමේගා ලයින් සමාගම ශී‍්‍ර ලංකාවේ අපනයනකරුවන් ඇගයීමට ලක් කෙරෙන ඉහළම සම්මාන උළෙල වන ජනාධිපති අපනයන සම්මාන උළෙලෙහි ඇගළුම් ක්ෂේත‍්‍රයේ අපනයන විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලැබීය. අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් වාර්ෂිකව සංවිධානය කරන මෙම සම්මාන උළෙල ගරු ජනාධිපති, මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ නෙළුම් පොකුණ රගහලේදී පසුගියදා පැවැත්වුණි.

    තම සමාගමට පිරි නැමූ අපනයන විශිෂ්ටතා සම්මානය සම්බන්ධයෙන් ඔමේගා ලයින් සමාගමේ අධ්‍යක්ෂ ෆීලික්ස් ප‍්‍රනාන්දු මහතා පැවසුවේ “සඳලංකාවේ පිහිටි අපේ ඔමේගා ලයින් සමාගම ශී‍්‍ර ලංකාවේ ඇගළුම් අපනයන සමාගම් අතුරෙන් ප‍්‍රමුඛතම සමාගමක් වන්නා සේම මෙරට විදේශ විනිමය ආදායමට සැළකිය යුතු දායකත්වයක් සපයන සමාගමක්. ඔමේගා ලයින් සමාගමේ අපනයන කාර්යභාරය අගයමින් පිරි නැමූ මෙම සම්මානයෙන් සමාගමේ කළමනාකාරීත්වය හා කාර්ය මණ්ඩලය කදිම දිරිමත්වීමකට පත්වූවා.“ යන්නය.

    ඔමේගා ලයින් සමාගම ඉතාලියේ වෙරෝනා නගරයේ ප‍්‍රධාන කාර්යාලය පිහිටි කැල්සිඩෝනියා (Calzedonia S.p.A) සමාගම් සමූහයට අනුබද්ධිත සමාගමකි.

    ජායාරූප විස්තරය - ඔමේගා ලයින් සමාගමට හිමි ජනාධිපති අපනයන සම්මානය මූලෝපාය සංවර්ධන හා ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍ය මලික් සමරවික‍්‍රම මහතා අතින් ඔමේගා ලයින් සමාගමේ අධ්‍යක්ෂ ෆීලික්ස් ප‍්‍රනාන්දු මහතා වෙත පිරි නැමූ අවස්ථාව