May, 2, 2017
වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන 35ක සිසුන් 10,000කට හා ගුරු උපදේශකයින් 150කට ප්‍රතිලාභ
තම අධ්‍යාපන සේවා ගෝලීය වශයෙන් බෙදා දීමේ ඔරකල් සමාගමේ අරමුණ අනුව යමින් ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියත් ඔරකල් සමාගමත් අතර පසුගියදා විශේෂ ගිවිසුමකට අත්සන් තැබිණ. ඒ අනුව දිවයින පුරා පිහිටි ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ පුහුණු මධ්‍යස්ථාන 35කදී 10,000කට වැඩි ශිෂ්‍ය සංඛ්‍යාවකට ඔරකල් ඇකඩමියේ තොරතුරු තාක්ෂණ අධ්‍යාපන පාඨමාලා හඳුන්වා දී තිබේ.
තවද මෙම ගිවිසුමට අනුව ඉදිරි වසර තුන තුළදී වෘත්තීය පුහුණු අධිකාරියේ ආචාර්ය මණ්ඩල සාමාජිකයන් 150 දෙනෙකු, ශ්‍රී ලංකාව තුළ ඔරකල් අධ්‍යයන පාඨමාලා මෙහෙයවිය හැකි උපදේශකවරු ලෙස පුහුණු කිරීම ද සිදුවනු ඇත. එසේ පළමු උපදේශක කණ්ඩායම පුහුණු වීමෙන් අනතුරුව ඔරකල් ඇකඩමියේ පහසුකම් ලබාගනිමින් සිසුන්ට ඉගැන්වීමේ කටයුතු සිදුකිරීමට ඔවුන්ට අවස්ථාව උදාවේ.
මේ යටතේ පරිගණක දත්ත ගබඩා ස්ථාපිත කිරීම, පරිගණක දත්ත පද්ධති සැලසුම්කරණය හා SQL මගින් හා PL/SQL මගින් වැඩසටහන් නිර්මාණය කිරීම, Java ස්ථාපිතකරණය, Java මූලිකාංග හා Java වැඩසටහන් නිර්මාණය කිරීම ඇතුළත් ඔරකල් ඇකඩමියේ පාඨමාලා පහක් ඉලක්ක කරමින් ගුරුවරුන් පුහුණුකිරීමේ පාඨමාලාවක් සංවිධානය කර තිබේ.
මෙරට ග්‍රාමීය ප්‍රදේශවල වාසය කරන තරුණ තරුණියන්ගේ කුසලතා වැඩිදියුණු කිරීමේ හා විශේෂයෙන්ම ඔවුන්ට රැකියා අවස්ථා ජනිත කරදීමේ අභිලාෂයෙන් ඇරඹුණු වෘත්තීය පුහුණු අධිකාරිය මේ වනවිට රාජ්‍ය අංශයේ විශාලතම තාක්ෂණ, වෘත්තීය අධ්‍යාපන හා පුහුණු සම්පාදකයා ද වේ. ව්‍යවස්ථාපිත ආයතනයක් වන වෘත්තීය පුහුණු අධිකාරිය සභාපතිවරයෙකු හා අධ්‍යක්ෂ මණ්ඩලයක් මගින් පාලනය වේ. එය රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශයට ද එක සේ සේවා සලසයි. තව ද වෘත්තීය පුහුණු අධිකාරිය, දක්ෂතා පාදක කරගත් ඇගැයීම් හරහා පාසල් අධ්‍යාපනය නිමකරන සිසුන් ඇතුළු තරුණ ප්‍රජාවට වෘත්තීය මාර්ගෝපදේශන සේවා සපයන අතර ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) පිරිනැමීම ද සිදුකරයි. ඉහළ නිපුණතාවක් සහිත තාක්ෂණික ශ්‍රම බලකායක් නිර්මාණය කරගැනීමේ දේශීය අවශ්‍යතාවයට දායකවීමට මේ අනුව වෘත්තීය පුහුණු අධිකාරියේත් ඔරකල් ඇකඩමියේත් සුසංයෝගය මඟ පාදනු ඇත.
“වෘත්තීය පුහුණු අධිකාරියේ මූලිකම අරමුණ තමයි, රට පුරා විසිරී සිටින ග්‍රාමීය තරුණ ප්‍රජාවට වෘත්තීය පුහුණුවක් ලබාදීම. ඔරකල් ඇකඩමිය සමඟ කටයුතු කිරීමට ලැබීම වගේම අපේ සිසුන්ගේ ආත්ම විශ්වාසය නංවමින් ඔවුන්ට සාර්ථක තොරතුරු තාක්ෂණ වෘත්තිකයින් වීමට සහායවන ගෝලීය මට්ටමේ තොරතුරු තාක්ෂණ විෂය නිර්දේශයක් හිමිවීමත් අපට විශාල සතුටක්” යනුවෙන් වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපති මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ගාමිණී හෙට්ටිආරච්චි මහතා පැවසීය.
“ලොව පුරා මිලියන 3.1ක සිසුන් ප්‍රමාණයකට ඔරකල් ඇකඩමිය හරහා දැනුම ලබාදෙනවා. වර්තමාන ශ්‍රම වෙළෙඳපොළ තුල සාර්ථකත්වයට පත්වීමට අවශ්‍ය කරන ව්‍යාපාර හා තාක්ෂණ කුසලතා මේ තුළින් ඔවුන්ට හිමිවෙනවා. ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියත් සමඟ ඇතිකරගත් මේ අලුත් සම්බන්ධතාවය අපට ගෞරවයක්. ඉදිරියේදී ගුරු උපදේශකවරුන් මෙම නව විෂය නිර්දේශය සම්බන්ධයෙන් දැනුවත් කිරීමටත් ඔවුන්ව අවශ්‍ය අයුරින් පුහුණු කිරීමටත් ඔරකල් ඇකඩමිය සූදානම්. විශේෂයෙන්ම වැඩමුළු, ස්වයං- අධ්‍යයන පාඨමාලා, වෙනත් තොරතුරු හා සම්පත් භාවිත කරමින් පන්ති කාමරය තුළදීත් ඉන් පිටතදීත් සිසුන්ට අධ්‍යාපනය ලබාදීම වෙනුවෙන් මෙසේ ගුරු උපදේශකයින් පුහුණු කෙරෙනවා” යනුවෙන් තායිලන්තයේ හා ශ්‍රී ලංකාවේ ඔරකල් කළමනාකාර අධ්‍යක්ෂ නටසක් රොජන්පිචස් මහතා ප්‍රකාශ කළේය.
“ගුරු උපදේශකයින් වටහාගැනීමටත් ඔවුන් අගය කිරීමටත් ඔරකල් ඇකඩමිය කටයුතු කරනවා. සහයෝගීතා සහ ඍජු මැදිහත්වීම් තුළින් සිදුකරනු ලබන අපගේ අධ්‍යාපන මෙහෙයුමේ කොටසක් ලෙස පරිගණක තාක්ෂණය දියුණු කිරීමේ අරමුණින් ඔවුන් සමඟ එක්ව කටයුතු කිරීමටත් අප බැඳී සිටිනවා. ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියත් සමඟ අත්වැල් බැඳගැනීමෙන් සිසුන්ට උසස් මට්ටමේ පාඨමාලා අන්තර්ගතයක් හා කුසලතා පූර්ණ ගුරුවරුන් ඔස්සේ ඔවුන්ට ශ්‍රම බලකාය වෙත පිවිසීම සඳහා ශක්තිමත් පදනමක් හිමිවෙනවා” යනුවෙන් ඔරකල් ඇකඩමියේ ආසියා පැසිෆික් කලාපයේ හා ජපානය කලාප අධ්‍යක්ෂ ඩේමියන් හාස් මහතා සඳහන් කළේය.
ඔරකල් ඇකඩමියේ කාර්යභාරය වනුයේ, ගෝලීය වශයෙන් පරිගණක විද්‍යා අධ්‍යාපනය ඉහළ නංවාලීමත් තාක්ෂණ අවකාශයේ දැනුම, නවෝත්පාදනය, කුසලතා සංවර්ධනය හා විවිධත්වය ඉදිරියට ගෙනයාමත් ය. ඔරකල් ඇකඩමියේ පාඨමාලා හා විෂය නිර්දේශය ඔස්සේ ලොව උසස්ම මට්ටමේ මෘදුකාංග, ජාවා නිර්මාණ පරිසරයට ප්‍රවේශයක් හිමිකර දෙන අතරම ගුරු මණ්ඩල පුහුණුව, විෂය නිර්දේශ, සහතික පිළියෙල කිරීම ඇතුළු බොහෝ කාර්යයන් සිදුකරයි. ඒ සියල්ල තුළින් සිසුන්ට තම අධ්‍යාපන පාඨමාලා සමඟ ඇති අදාළ බව වර්ධනය කෙරෙන අතරම පාඨමාලා හරහා ලැබෙන ප්‍රතිඵල ද ඉහළ යයි.
විචාරාත්මක චින්තනය හා SQL/ Java වැනි ඉල්ලුමක් සහිත නිපුණතා ඇතිකරලීමේත් අපේක්ෂාවෙන් ඔරකල් ඇකඩමිය ප්‍රාථමික අධ්‍යාපනයේ සිට උසස් අධ්‍යාපනය දක්වා පරිගණක විද්‍යා අධ්‍යාපන අවස්ථාවක් නිර්මාණය කර තිබේ. සෑම වසරකදීම ඔරකල් ඇකඩමිය රටවල් 110ක සිසුන් මිලියන 3.1කට සේවා සලසයි.
Video Story