ඔරකල් සමාගම ඔරකල් දිනයේදී ක්ලවුඩ් සේවාව ප්‍රදර්ශනය කරයි

    May, 30, 2016

    පසුගියදා කොළඹ හිල්ටන් හෝටලයේදී පැවති ඔරකල් දිනයේදී ඔරකල් සමාගම, මෙරට විවිධ ක්ෂේත්‍රවල සමාගම් සඳහා සිය ක්ලවුඩ් සේවාව හඳුන්වා දීමට කටයුතු කළේය. මීට අමතරව, ඔරකල් සමාගමේ හවුල්කාර ජාලයේ (OPN) සාමාජිකයෝ ඔරකල් ක්ලවුඩ් විසඳුම් ක්‍රියාවට නැංවීම සඳහා තමන් සතු හැකියාව සහ විශේෂඥතාව ද මෙහිදී ප්‍රදර්ශනය කළෝය.

    උළෙලේදී අදහස් දැක්වූ ඔරකල් සමාගමේ ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරීහු, විශාල දත්ත නවීකරණය කිරීම, දත්ත ගබඩා කිරීම, අලෙවිකරණය සහ ඩිජිටල් ක්‍රියාවලීන් තුළ ක්ලවුඩ් සේවාවේ ඇති වැදගත්කම, ඒ පිළිබඳ තමන් සතු විශේෂඥ දැනුම සහ අත්දැකීම් රැස්ව සිටි පිරිස සමග බෙදාහදා ගත්හ. ඩිජිටල් නව්‍යකරණය සහ ඩිජිටල් භේදනය, නූතන ක්ලවුඩ් සේවාව, ඒකාබද්ධ දත්ත කේන්ද්‍රය, නූතන අලෙවිකරණයේ අනාගතය සහ අනන්‍යතාව තුළ ඩිජිටල්කරණයේ නැගී ඒම ආදී ප්‍රමුඛ මාතෘකා රැසක් ද මෙහිදී සාකච්ඡාවට ලක් කෙරිණි.

    ක්ලවුඩ් සේවාවට අනුගත වීම සඳහා සමාගම්වලට සහයෝගය ලබා දෙමින් ඔරකල් සමාගම නවතම ක්ලවුඩ් සේවාවන් රැසක් මෑතකදී හඳුන්වා දුන්නේය.
    "තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ බලපෑම වේගයෙන් වර්ධනයවන බැවින් සිය අවශ්‍යතාවන්ට ගැළපෙන සහ ආරක්ෂාකාරී ක්ලවුඩ් සේවාවන් කෙරෙහි ව්‍යාපාර වැඩි අවධානයක් යොමු කර තිබෙනවා. මෙම නවතම ඔරකල් ක්ලවුඩ් සේවාවන් ක්ෂේත්‍රයේ පවතින වඩාත් නම්‍යශීලි, විශ්වසනීය සහ ආරක්‍ෂිත ක්ලවුඩ් සේවාවන් මෙරට පාරිභෝගික ජනතාවට ලබා දීමේ අවස්ථාව ව්‍යාපාරවලට හිමිකර දෙනවා." ඔරකල් පකිස්තාන් සහ SAGE-W කළමනාකාර අධ්‍යක්ෂ ආසීන් ජාවෙඩ් මහතා සඳහන් කළේය.

    "ලොව පුරා සංවිධාන සහ ව්‍යාපාර සිය ව්‍යාපාරික කටයුතු වේගවත් කිරීම සඳහා ක්ලවුඩ් සේවාවන් වෙත නැඹුරු වීමේ ප්‍රවණතාවක් ඇති අතර ශ්‍රී ලාංකේය සමාගම් ද ඊට කදිම උදාහරණ සපයනවා. මුල්‍ය සේවා, විදුලි සංදේශන, නිෂ්පාදන, වෘත්තීය සේවා, රාජ්‍ය අංශ සහ අධ්‍යාපන ආදී අංශවලට සුවිශේෂී වූ සේවාවන් ලබා දීම සඳහා ඔරකල් ක්ලවුඩ් සේවාවට ඇති හැකියාව නිසාම තමන්ගේත්, සිය පාරිභෝගිකයන්ගේත් අවශ්‍යතාවන්ට ගැළපෙන කාර්මික විසඳුම් ලබා ගැනීමට ශ්‍රී ලාංකේය ව්‍යාපාරික ප්‍රජාවට හැකියාව ලැබෙනවා." ASEAN ඔරකල් සමාගමේ විසඳුම් උපදේශන ප්‍රධානී රාඝු ප්‍රසාද් මහතා අදහස් පළ කළේය.

    ප්‍රධාන ක්ලවුඩ් සේවාවට අමතරව ඔරකල් සමාගම ලබා දෙන SaaS, PaaS සහ IaaS ආදී මෘදුකාංග ආකෘතීන් පිළිබඳව ද මෙම උළෙලේදී සාකච්ඡාවට ලක් කෙරිණි.

    මෙහිදී අදහස් දැක්වූ ඔරකල් සමාගමේ දකුණු ආසියානු වර්ධන ආර්ථික සමාගමේ යෙදවුම් ව්‍යාපාර අංශයේ කලාපීය විකුණුම් අධ්‍යක්ෂ චන්දිත සමරනායක මහතා අවධාරණය කළේ වර්තමාන ව්‍යාපාරික පරිසරය තුළ ඉදිරි ගමනක් යාම සඳහා වේගවත් බව අතිශයින් වැදගත් බවය. එබැවින් නව්‍යකරණය තුළින් වේගයෙන් වර්ධනයවන ව්‍යාපාරික අවශ්‍යතාවන් සඳහා කඩිනම් විසඳුම් ලබා ගැනීමට මෙරට සමාගම්වලට සිදුවන බව ද ඔහුගේ අදහසයි. "ඔරකල් ක්ලවුඩ් විසඳුම් හඳුන්වා දෙමින් දේශීය මෙන්ම ගෝලීය සමාගම් රැසකට අසමසම ප්‍රතිලාභ අත්පත් කර දීමට ඔරකල් සමාගම මේවන විටත් කටයුතු කර තිබෙනවා. ඔරකල් ක්ලවුඩ් සේවාව ඔස්සේ අප අපගේ පාරිභෝගික ජනතාවට විශිෂ්ට සහ මැනවින් සංකලිත වූ තාක්ෂණික ක්‍රමවේද මෙන්ම ව්‍යාපාරවල වේගවත් වර්ධනයට පාදකවන සවිමත් දත්ත කේන්ද්‍රයන් හඳුන්වා දීමට සමත්ව සිටිනවා." ඔහු වැඩිදුරටත් අදහස් පළ කළේය.

    ඔරකල් ව්‍යවසාය මූලාශ්‍ර සැලසුම්කරණය (ERP) නම් ක්ලවුඩ් අතුරු මෙහෙයුම් පද්ධතිය ද මෙම උළෙලේදී ප්‍රදර්ශනය කෙරුණු ප්‍රධාන අංගයකි.
    "වර්තමානයේ පවතින අතිශය තරගකාරී ව්‍යාපාරික වාතාවරණය හමුවේ සිය වර්ධනය අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා බොහෝ ව්‍යාපාර ඔරකල් ERP ක්ලවුඩ් සේවාව භාවිතා කිරීමට පෙළඹ සිටිනවා. එමගින් මහා පරිමාණ ව්‍යාපාර සඳහා මෙන්ම, මධ්‍යම සහ කුඩා පරිමාණ ව්‍යාපාර සඳහා ද උපරිම සේවාවක් ලබා දීම විශේෂත්වයක්. ඔරකල් ERP ක්ලවුඩ් සේවාව සතු සුවිසල් මුල්‍ය මෙහෙයුම් හැකියාව සහ ගෝලීය ශක්‍යතා මත මෙරට ඕනෑම ආකාරයක ව්‍යාපාරවල කාර්යක්ෂමතාව සහ ලාභය වැඩිදියුණු කිරීමට ඊට සහයෝගය ලබා දිය හැකි බව අපගේ විශ්වාසයයි." ඔරකල් ASEAN යෙදවුම් ව්‍යාපාර අංශයේ ජ්‍යෙෂ්ඨ විකුණුම් අධ්‍යක්ෂ ආකාශ සුල්තාන් මහතා ප්‍රකාශ කළේය.

    ලොව පුරා මිලියන 70 කට අධික පිරිසකගේ විශ්වාසය හිමිකර ගෙන ඇති ඔරකල් ක්ලවුඩ් සේවාව දිනකට බිලියන 34 අධික හුවමාරු සංඛ්‍යාවක් සඳහා සහය ලබා දෙයි. එය ලොව පුරා පිහිටි දත්ත මධ්‍යස්ථාන 19 ක් තුළ ක්‍රියාත්මක වේ.