ඕවර්සීස් රියල්ටි සමාගමේ මිරේකා සීස්කේප් මහල් නිවාස මිලදී ගැනීමට කොමර්ෂල් බැංකුවෙන් සුවිශේෂී නිවාස ණය පහසුකම්

    January, 2, 2026

    ශ්‍රී ලංකාවේ නිවාස ණය වෙළඳපල ප්‍රමුඛයා මෙන් ම නිවාස හිමිකාරීත්වය පිළිබඳ ගනුදෙනුකරුවන්ගේ අභිලාෂයන් මනාව තේරුම් ගන්නා බැංකුවක් ලෙස තම භූමිකාව අඛණ්ඩව ඉදිරියට ගෙනයමින්, කොමර්ෂල් බැංකුව ඕවර්සීස් රියල්ටි (සිලෝන්) පීඑල්සී සමාගම සමඟ අවබෝධතා ගිවිසුමක් (MoU) අත්සන් කර ඇත. මෙම ගිවිසුම හරහා සමාගමේ නවතම සංවර්ධන ව්‍යාපෘතිය වන මිරේකා සීස්කේප් මහල් නිවාස සංකීර්ණයේ නිවාස ඒකක ගැනුම්කරුවන්ට ඔවුන් සඳහා ම විශේෂයෙන් සකස් කළ නිවාස ණය පහසුකම් සපයනු ලැබේ.

    මෙම හවුල්කාරීත්වය හරහා, විනිවිදභාවය සහ කාර්යක්ෂමතාවය වැඩි වන ලෙස සකස් කළ ත්‍රෛපාර්ශවික ගිවිසුම් යටතේ, කොමර්ෂල් බැංකුව මගින් ඕවර්සීස් රියල්ටි සමාගම විසින් ඉදි කරන ලද නිවාසවල ගැනුම් මිලෙන් 100%ක් දක්වා ආවරණය වන පරිදි ණය පහසුකම් ලබා දෙනු ඇත.

    කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානය හා හැව්ලොක් සිටි වැනි සුවිශේෂී සංවර්ධන ව්‍යාපෘති නිම කිරීමේ කීර්තිය උසුලන ඕවර්සීස් රියල්ටි සමාගමෙන් හඳුන්වා දෙන දොඩන්දූවේ පිහිටි නවතම වෙරළබඩ නේවාසික ව්‍යාපෘතිය, මිරේකා සීස්කේප් ලෙස හැඳින්වේ. මෙම ව්‍යාපෘතිය සුඛෝපභෝගී නිවාස ඒකක 168 කින් සමන්විත වේ. අතිනවීන සැලසුම්කරණය සහ උසස් තත්වයේ පහසුකම් සහිතව ඉදිවන මිරේකා සීස්කේප් ව්‍යාපෘතිය මගින් නවීන පන්නයේ වෙරළබඩ ජීවන රටාවට නව අරුතක් ලබා දෙනු ඇත.

    කොමර්ෂල් බැංකුව විසින් තරඟකාරී අනුපාත සහ නම්‍යශීලී ආපසු ගෙවීමේ ක්‍රම සමඟින් පුළුල් පරාසයක මූල්‍ය විකල්ප ලබා දෙන අතර ඕවර්සීස් රියල්ටි වැනි කීර්තිමත් සමාගම් සමඟ බැංකුව පවත්වන අඛණ්ඩ සහයෝගීතාවයන් හරහා පිළිබිඹු වන්නේ ශ්‍රී ලාංකිකයින්ගේ නිවාස සිහින සැබෑ කරගැනීමට සහය දීම වෙනුවෙන් බැංකුවේ ක්‍රියාශීලී කැපවීමයි.

    ඇමරිකානු ඩොලර් බිලියන 1 කට අධික වෙළඳපල ප්‍රාග්ධනීකරණයක් සහිත ශ්‍රී ලංකාවේ පළමු බැංකුව වන කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු දේශීය බැංකුව මෙන්ම කොළඹ කොටස් වෙළඳපල බැංකු අංශයේ ඉහළම වෙළඳපල ප්‍රාග්ධනකරණයක් ඇති බැංකුව වේ. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ.

    දිවයින පුරා උපායමාර්ගිකව පිහිටා ඇති ශාඛා සහ ස්වයංක්‍රීය යන්ත්‍ර ජාලයක් ක්‍රියාත්මක කරන අතර, බැංකුව බංග්ලාදේශයේ ශාඛා 20 ක්, මාලදිවයිනේ බහුතර කොටස් හිමිකාරිත්වයක් සහිත පූර්ණ මට්ටමේ පළමු පෙළ බැංකුවක්, මියන්මාරයේ ක්ෂුද්‍ර මූල්‍ය සමාගමක් සහ ඩුබායි ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය (DIFC) තුළ නියෝජිත කාර්යාලයක් සමඟින් ශ්‍රී ලාංකික බැංකු අතර පුළුල්ම ජාත්‍යන්තර පියසටහනක් තබා ඇත. මීට අමතරව බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය දරන CBC ෆිනෑන්ස් ලිමිටඩ් සහ කොමර්ෂල් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් සමාගම තම ශාඛා ජාල හරහා පුළුල් පරාසයක මූල්‍ය සේවා සපයයි.

     

    සේයාරු සටහන: කොමර්ෂල් බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී - පුද්ගලික බැංකුකරණය කපිල ලියනගේ මහතා සමඟ ඕවර්සීස් රියල්ටි හි අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී ප්‍රවීර් සමරසිංහ මහතා, සමාගම් දෙකෙහි ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් ඉදිරියේ ගිවිසුම් හුවමාරු කර ගන්නා අවස්ථාව