2026 මැද භාගය වන විට වාණිජ මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිතයි
ඉදිකරමින් පවතින කොළඹ ජාත්‍යන්තර ගුවන්තොටුපළ හෝටලයේ ඉදිකිරීම් සහ වර්තමාන පරිපාලන කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා වරාය සහ සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා පසුගිය දා (17/03/2026) විශේෂ නිරීක්ෂණ චාරිකාවකට එක්විය.
මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ වැඩ බලන සභාපති ඩ්බ්.ඩ්බ්.එස්. මංගල මහතා,කොළඹ ජාත්‍යන්තර ගුවන්තොටුපළ හෝටල් (පුද්ගලික) සමාගමේ කළමනාකාරීත්වය, සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් දමින්ද රඹුක්වැල්ල මහතා සහ ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ නිලධාරි මහත්ම මහත්මීන් පිරිසක් සහභාගී විය.
ගුවන්තොටුපළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පුද්ගලික) සමාගම (AASL), බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ ආසන්නයේ තරු 4 කාණ්ඩයේ ගුවන්තොටුපළ හෝටලයක් ඉදිකිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා 2018 දී කොළඹ ජාත්‍යන්තර ගුවන්තොටුපළ හෝටල් (පුද්ගලික) සමාගම සමඟ ගිවිසුමකට එළඹුණි. මෙම ව්‍යාපෘතිය සැලකිය යුතු විදේශ ආයෝජනයක් සහිතව ක්‍රියාත්මක කරනු ලැබේ. මෙම ව්‍යාපෘතිය රටේ ප්‍රධාන ජාත්‍යන්තර ගුවන්තොටුපළට ආසන්නයේ සංචාරක යටිතල පහසුකම් සංවර්ධනයට දායක වන අතර ගුවන් තොටුපළ සහ ගුවන්සේවා සමාගම වෙත දිගුකාලීන ආදායමක් උපයා ගනිමින් රැකියා අවස්ථා නිර්මාණය කරයි.
මෙම හෝටලය ගුවන් සේවා කාර්ය මණ්ඩල සාමාජිකයින්, මගීන්, සංචාරකයින් සහ පොදු ජනතාව සඳහා නවාතැන් පහසුකම් සපයනු ඇති අතර, අවන්හල්, ක්‍රීඩා සහ විනෝදාස්වාද පහසුකම්, ව්‍යාපාරික මධ්‍යස්ථානයක්, සම්මන්ත්රණ පහසුකම් සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රමිතීන්ට අනුකූලව අනෙකුත් ආගන්තුක සත්කාර සේවා සපයනු ඇත. මේ වන විට, හෝටලයේ ඉදිකිරීම් කටයුතු බොහෝ දුරට අවසන් වී ඇති අතර 2026 මැද භාගය වන විට වාණිජ මෙහෙයුම් ආරම්භ කිරීමට අපේක්ෂා කෙරේ.