August, 27, 2025
කණ්ඩායම් හැඟීමේ සහ අප්‍රතිහත ධෛර්ය ශක්තියේ විස්මයජනකභාවය පෙන්නුම් කරමින් ගින්නෙන් සම්පුර්ණයෙන්ම විනාශ වූ සිය ගම්පොළ කර්මාන්තශාලාවේ නිෂ්පාදන කටයුතු මාසයකටත් අඩු කාලයකදී නැවත ආරම්භ කිරීමට සමත්වූ බව කඳුරට කුඩ ඉන්ඩස්ට්‍රීස් පෞද්ගලික සමාගම නිවේදනය කරයි.
පසුගිය ජූලි මස 28 වැනිදා එම කර්මාන්තශාලවේ හටගත් ගින්න හේතුවෙන් පෙන්ගුවින් සන්නාමයේ නිෂ්පාදන කටයුතු සඳහා අත්‍යවශ්‍ය උපකරණ ඇතුළුව සම්පූර්ණ නිෂ්පාදන යන්ත්‍රෝපකරණ පද්ධතිය සහ මුළු ගොඩනැගිල්ලම බරපතළ ලෙස විනාශ වූ අතර, එම සිදුවීම ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ගෘහස්ත නාමයක් මෙන්ම ගම්පොළ ප්‍රදේශයේ කැපී පෙනෙන ව්‍යාපාරික සමාගමක් බවට පත්වී සිටි එම සමාගමේ වසර 50ක ඉතිහාසය තුළ සිදුවූ විශාලතම විනාශයද විය.
කෙසේ වෙතත් වාර්තාගත කාලයක් ඇතුළත එහි නිෂ්පාදන කටයුතු යළි ආරම්භ කිරීමට සමාගම සමත්වීම විශිෂ්ඨ පුනරාගමනයක් ලෙස සැලකෙන අතර, එම කර්මාන්තශාලාවේ වැඩකටයුතු කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීම සඳහා එහි කාර්ය මණ්ඩලයේ අසාමාන්‍ය කැපවීමත්, හවුල්කරුවන්, ගනුදෙනුකරුවන් සහ මෙරට සමස්ත ප්‍රජාව විසින් ලබා දුන් නොසැලෙනසුලු සහයෝගයත් ඉවහල් වූ බව නිල නිවේදනයක් නිකුත් කරමින් සමාගමේ අධ්යක්ෂ මණ්ඩලය සඳහන් කළේය.
එම සිදුවීමෙන් මාසයක් ඇතුළත නැවත ගම්පොළ නිෂ්පාදන කටයුතු ආරම්භ කළ බව ද එම නිවේදනය මගින් තහවුරු කළේය. මෙම වේගවත් පෙරළිය සමාගමේ ශක්තිමත් පදනමට සහ ගැඹුරු ප්‍රජා සම්බන්ධතාවට කදිම සාක්ෂියක් බවද එහි සඳහන් වේ.
එම අර්බුදය අතරතුර සියලු පාර්ශ්ව වෙතින් ලද සහයෝගීතාව වෙනුවෙන් කඳුරට කුඩ සමාගමේ අධ්යක්ෂ මණ්ඩලය ඉමහත් කෘතඥතාව පළ කළ අතර, කඳුරට කුඩ ඉන්ඩස්ට්‍රීස් යනු සමාගමක් පමණක් නොව ප්‍රජා සත්කාරයක් බව එම අත්දැකීම තුළින් නැවත නැවත තහවුරු වූ බව ද ප්‍රකාශ කළේය.
වසර 1977 දී ආරම්භ වූ කඳුරට සමාගම කුඩ නිෂ්පාදන සඳහා පමණක් නොව මදුරු දැල්, වැසි කබා, මේස්, ඇඳුම් වියලන උපාංග, පාවහන් රඳවන, කොසු ඉදල් උපාංග සහ කුඩ රාමු හා සෙසු උපාංග වැනි පුළුල් නිෂ්පාදන පෙළක් ද පිරිනමමින් ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිතවල කොටසක් බවට පත්වී සිටී.
විශිෂ්ඨ නිෂ්පාදන පෙළක් පිරිනැමීම සඳහා සිය මෙහෙයුම් අඛණ්ඩව සිදු කිරීමට මෙම අභියෝගය තුළින් පෙර නොවූ විරූ අයුරින් ශක්තිමත්ව නැගී සිටින බව ඔවුන් දැඩිව කියා සිටියේය.

ඡායාරූපය : වමේ සිට දකුණට සභාපති එම්. ටී. එම්. නවුෂාඩ් සහ කළමනාකාර අධ්යක්ෂ එම්. ටී. එම්. නවුෆාල්