කමාන්ඩෝ චැලේන්ජ් තරඟාවලියේ සියළුම ශුරතා සම්මාන දිනාගනිමින් සියැට් ධාවන කණ්ඩායම සුපිරි දස්කම් දක්වයි

    October, 16, 2016

    පසුගියදා පැවති කමාන්ඩෝ චැලේන්ජ් සුපර් ක්‍රොස් තරඟාවලියේදී ප‍්‍රදානය කළ ශුරතා කුසලාන හතරම දිනා ගනිමින් සුපිරි දස්කම් දැක්වීමට සියැට් ධාවන කණ්ඩායම සමත්විය.

    ඌව කුඩාඔය කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසැල් ධාවන පථයේ පැවති මෙම තරඟාවලියේ අපරාජිත වාර්තාවක් තබමින් සියැට් ධාවන කණ්ඩායම මෝටර් රථ කණ්ඩායම් ශුරතාවය සහ යතුරු පැදි කණ්ඩායම් ශුරතාවය දිනාගැනීමට සමත්වූ අතර කණ්ඩායමේ උෂාන් පෙරේරා හොඳම මෝටර් රථ ධාවකයා සහ ඉවෝන් බියාජී ගුරුසිංහ හොඳම යතුරු පැදි ධාවකයා ලෙසින් සම්මාන දිනා ගන්නා ලදී.

    කමාන්ඩෝ චැලේන්ජ් සුපර් ක්‍රොස් තරඟාවලියේදී සියැට් ධාවක කණ්ඩායම ජයග‍්‍රාහී ස්ථාන 11 ක් වාර්තා කළ අතර මෙයට ප‍්‍රථම ස්ථාන අටක්, දෙවන ස්ථාන දෙකක් සහ එක් සිව්වන ස්ථානයක් ඇතුළත් විය. SLGT 3500 CC මෝටර් රථ අංශයේ පැවති තරඟ දෙකම ජයග‍්‍රහණය කරමින් උෂාන් පෙරේරා තම හැකියාවන් නැවත වතාවක් තහවුරු කළ අතර ඉවොන් බියාජී ගුරුසිිංහ තරඟ හතරක් ජයග‍්‍රහණය කිරීමට සමත්විය.

    ශ‍්‍රී ලංකා කමාන්ඩෝ රෙජිමේන්තුව 2016 කමාන්ඩෝ චැලේන්ජ් සුපර් ක්‍රොස් තරඟාවලිය ශ්‍රී ලංකා මෝටර් රථ සහ යතුරු පැදි ධාවකයින්ගේ සංගමය "SLARDAR" සමග එක්ව සංවිධානය කළ අතර ප‍්‍රධාන අනුග‍්‍රාහකයා ලෙස සියැට් කැළණි හෝල්ඩින්ග්ස් සමාගම විසින් සහයෝගය දක්වන ලදී. 2016 සියැට්-ශ‍්‍රී ලංකා ‘සුපර් සීරිස්’ ශුරතා තරඟාවලිය යටතේ පැවැත්වූ තුන්වන තරඟාවලිය මෙයයි.

    2016 සියැට් ධාවක කණ්ඩායම උපුල්වන් සේරසිංහ, ජනක ඩයස්, පසිඳු පීරිස්, ලලින් කිරින්ද, ප‍්‍රසන්න ද අල්විස්, ලෙෆ්ටිනන්ට් කර්නල් දුමින්ද ජයසිංහ, කර්නල් ඉන්දු සමරකෝන්ල උෂාන් පෙරේරා මලීක කුරුවිටආරච්චි, ගයන්ත රංගන, ඉවෝන් බියාජී ගුරුසිංහ සහ දේශාන් සෝලන්කි යන ධාවකයින්ගෙන් සමන්විත වේ.

    සියැට් ධාවක කණ්ඩායම 2016 වසර වෙනුවෙන් පැවති ධාවන තරඟ වලදී මේ වනවිට පිට පිටම අට වතාවක් මෝටර් රථ කණ්ඩායම් ශුරතාවය සහ තුන් වතාවක් යතුරු පැදි කණ්ඩායම් ශුරතාවය දිනාගෙන තිබේ.

    2016 සියැට්-ස්ලාඩා ශුරතාවලිය වෙනුවෙන් ශ‍්‍රී ලංකා ඔටෝ - ස්පෝර්ට්ස් ඩ‍්‍රයිවර්ස් ඇසෝසියේෂන් (SLADA) විසින් සංවිධානය කරන ධාවන තරඟ පහකදී මෙම කණ්ඩායම සියැට් වර්ණ යටතේ තරඟ වැදීමට නියමිතය. මීට අමතරව, දේශීය මෝටර් රථ සහ යතුරු පැදි ධාවකයින් නියෝජනය කරන සංගම් දෙකකින් එකක් වන ශ්‍රී ලංකා මෝටර් රථ සහ යතුරු පැදි ධාවකයින්ගේ සංගමය (SLARDAR) විසින් 2016 වසරේ පැවැත්වීමට නියමිත ධාවන තරඟාවලි හතරකින් සමන්විත ‘zCEAT Sri Lanka Super Series’ සඳහා නාම අනුග‍්‍රාහකත්වය ලබාදීමට ඉදිරිපත් වී ඇත.

    සේයාරු වලින් දැක්වෙන්නේ (වමේ) සියැට් ධාවන කණ්ඩායමේ ධාවන ශුරයින් වන ඉවොන් බියාජී ගුරුසිංහ සහ උෂාන් පෙරේරාල සහ ඌව කුඩාඔය ධාවන පථයේදී උෂාන් පෙරේරා දස්කම් දක්වන ආකාරයයි.