කරච්චියට යන ශ්‍රී ලංකන් ගමන් වාර අවලංගුයි

    June, 9, 2014

    අද සවස 1.00 ට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් කරච්චි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ දක්වා පියාසර කිරීමට නියමිතව තිබූ ගුවන් ගමන කරච්චි ගුවන් තොටුපොළට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය හමුවේ අවලංගු කළබව ශ්‍රී ලංකන් කියයි.

    ශ්‍රී ලංකන් පවසා තිබෙන්නේ ගුවන් මගීන්ට 1979 අංකයට අමතා වැඩිදුර තොරතුරු දැනගත හැකි බවත් සිදුවන අපහසුතාවය පිළිබඳව කණගාටුවන බවයි.

    පාකිස්තානය විසින් ගුවන් ගමන් සිදුකිරීමට තත්ත්වය යහපත් බව දැනුම් දුන් පසුව කොළඹ සිට පාකිස්තානයට ගුවන් ගමන් අරඹන බව වැඩිදුරටත් සඳහන්ය.

    ඉරිදා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය හමුවේ පාකිස්තානයේ ප්‍රධානතම ව්‍යාපාරික ගුවන් තොටුපොළ වන කරච්චි ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ මෙහෙයුම් කටයුතු නතර වී තිබෙන අතර ප්‍රහාරය නිසා 23 දෙනෙකු පමණ මේ වනවිටත් ජීවිතක්ෂයට පත්ව ඇත.