September, 6, 2016
කලමාසු සිස්ටම්ස් පීඑල්සී හි (KALAMAZOO SYSTEMS PLC) නව අධ්‍යක්ෂ මණ්ඩලය ඊයේ (05) දිනයේ දී වැඩ භාර ගන්නා ලදී. මෙහිදී සමාගමේ විධායක සභාපතිවරයා වශයෙන් ෂමීන්ද්‍ර රාජයියා පත්වී තිබෙන අතර පාලිත ගුණතිලක විධායක අධ්‍යක්ෂවරයෙකු ලෙසින් වැඩ භාරගෙන ඇත. තවද සංජීව් අලස්, මයිකල් රත්නසබාපති හා ප්‍රසන්න කාසිචිට්ටි විධායක නොවන/ ස්වාධීන අධ්‍යක්ෂවරුන් ලෙස පත්වීම් ලැබ තිබේ.
මේ අතර කලමාසු සමාගම විසින් දැවැන්ත හිමිකම් නිකුතුවක් ඊයේ දිනයේ දී ප්‍රකාශයට පත්කරනු ලැබීය. ඒ දැනට පවතින සෑම කොටස් එකකටම කොටස් 60 ක් වන පරිද්දෙනි. මෙහිදී එක් කොටසක් නිකුතු කිරීමට තීරණය කර ඇති මිල රු. 520.00 කි. මේ අනුව කොටස් මිලියන 3 ක් රු. 520 බැගින් නිකුත් කිරීමට කටයුතු කෙරෙන අතර එමගින් එක්රැස් කර ගැනීමට නියමිත මුදල රුපියල් බිලියන 1.56 කි. මෙහි විශේෂත්වය වනුයේ සමාගමේ වත්මන් වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය ද රුපියල් මිලියන 56.76 ක් වීමයි.
මෙම හිමිකම් නිකුතුව ප්‍රකාශයට පත්වීමත් සමඟම අද මධ්‍යහ්නය වන විට කලමාසු සිස්ටම්ස් පීඑල්සී හි කොටස් මිල රු. 1,133.40 දක්වා රු. 377.80 කින් පහළ ගිය අතර මෙය 25% ක කොටස් මිල කඩා වැටීමකි.
මුද්‍රණ කර්මාන්තය හා ආශ්‍රිත උපකරණ සහ ලිපිද්‍රව්‍ය අලෙවි සමාගමක් වන කලමාසු සිස්ටම්ස් හි බහුතර කොටස් අයිතිය රේණුකා හෝල්ඩිංග්ස් පීඑල්සී විසින් පසුගිය ජූලි 20 වන දින අත්පත් කර ගන්නා ලදී. එහිදී කලමාසු සිස්ටම්ස් හි ප්‍රමුඛ කොටස් හිමියා වූ නිමල් පෙරේරා විසින් තමා සතු කොටස් 34,985 ක් රු. 1,428.00 බැගින් අලෙවි කරනු ලැබීය. මෙය සමාගමේ ප්‍රකාශිත ප්‍රාග්ධනයෙන් 69.97% කි.
මෙමඟින් එක්රැස් කර ගන්නා අරමුදල් රේණුකා ඩිවලොප්මන්ට්ස් ලිමිටඩ් හි හිමිකම් කොටස් ආයෝජනයක් වෙනුවෙන් යොදා ගැනීමට තීරණය කර ඇති බව සමාගම විසින් වැඩිදුරටත් නිවේදනය කර ඇත.
මෙම හිමිකම් නිකුතුව කොළඹ කොටස් වෙළෙඳපොළේ අනුමැතියට හා අතිවිශේෂ මහා සභා රැස්වීමේ දී කොටස්කරුවන්ගේ අනුමැතිය ලබා ගැනීමට යටත්ව ප්‍රකාශ කරන ලද්දකි.