November, 30, 2016
2016 අංක 6 කරණ ක්ෂුද්‍ර මූල්‍ය පනත මගින්, මෙතෙක් කිසියම් හෝ නියාමනයකට භාජනය නොවූ ක්ෂුද්‍ර මූල්‍ය ආයතන නියාමනය කිරීමේ ක්‍රමවේදයකට යටත් වනු ඇත. අඩු ආදායම්ලාභීන්ට සහ ක්ෂුද්‍ර ව්‍යාපාර කටයුතුවලට මූල්‍ය පහසුකම් සැලසීම වැඩි දියුණු කිරීම, මූල්‍යමය අන්තර්ගතභාවය ඉහළ නැංවීම, ක්ෂද්‍ර මූල්‍ය ආයතනවල ස්ථායිතාවය සහ පද්ධතීන් ශක්තිමත් කිරීම, ක්ෂුද්‍රමූල්‍ය ආයතනවල අරමුදල් මූලාශ්‍ර පිළිබඳ පුළුල් ප්‍රවේශයක් ලබාගැනීම සඳහා පහසුකම් සැලසීම, පාරිභෝගික රැකවරණය ප්‍රවර්ධනය කිරීම සහ සුරක්ෂිත සහ ස්ථාවර මූල්‍ය පද්ධතියක් ප්‍රවර්ධනය කිරීම මෙම පනතෙහි අරමුණු වේ.
ක්ෂුද්‍රමූල්‍ය පනත 2016 ජූලි මස 15 වන දින සිට බලාත්මක වේ. මෙම පනත මගින් ක්ෂුද්‍රමූල්‍ය ව්‍යාපාරවල නිරත වන සමාගම් සඳහා බලපත්‍ර නිකුත් කිරීමට, එම සමාගම් වෙත නීති සම විධාන නිකුත් කිරීම සහ ක්ෂුද්‍රමූල්‍ය/ ක්ෂුද්‍රණය රාජ්‍ය නොවන සංවිධාන අධීක්ෂණය කිරීම සඳහා ස්වෙච්ඡා සමාජ සේවා සංවිධාන රෙජිස්ට්‍රාර්වරයා වෙත මාර්ගෝපදේශ නිකුත් කිරීමට ද මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙත බලය පැවරී ඇත.
ක්ෂුද්‍රමූල්‍ය පනතෙහි විධිවිධානයන්ට අනුව එහි අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා මුදල් මණ්ඩලය විසින් පියවර ගෙන ඇත. ඒ අනුව බලපත්‍රය ලබා ගැනීම සඳහා වන නිර්ණායක සහ බලපත්‍ර ගාස්තුව වශයෙන් නීති දෙකක් ද ප්‍රාග්ධනය, ද්‍රවශීල වත්කම්, ව්‍යවස්ථාපිත සංචිත, තැන්පතු ණය පහසුකම්, කොටස් හිමියන් පිළිබඳ තක්සේරුව, බලපත්‍රලාභී ක්ෂුද්‍රමූල්‍ය ආයතනවල පාලන කටයුතු සිදුකරන පුද්ගලයින්ගේ සුදුසුකම් සහ යෝග්‍යතාවය තහවුරු කිරීම සහ වාර්තා කිරීමේ අවශ්‍යතා වැනි ප්‍රධාන විචක්ෂණශීලී අවශ්‍යතා ආවරණය වන පරිදි විධානයන් අටක් ද 2016 ඔක්තෝබර් 27 දින සිට බලපැවැතැවෙන පරිදි නිකුත් කර ඇත.
ක්ෂුද්‍රමූල්‍ය පනත යටතේ බලපත්‍රය සඳහා වන නිර්ණායක සපුරාලන ක්ෂුද්‍රමූල්‍ය සමාගම්වලට බලපත්‍රය සඳහා ඉල්ලුම් කළ හැකිය. පසුව ඒවා මුදල් මණ්ඩලය මගින් ඇගයීමකට ලක් කෙරේ. බලපත්‍රලාභී ක්ෂුද්‍රමූල්‍ය සමාගම්වල අඛණ්ඩ ක්‍රියාකාරීත්වය සහ ඔරොත්තු දීමේ හැකියාව විචක්ෂණශීලී විධාන මගින් තහවුරු කෙරේ.
ස්වෙච්ඡා සමාජ සේවා සංවිධාන රෙජිස්ට්‍රාර්වරයා වෙත නිකුත් කිරීමට යෝජිත මාර්ගෝපදේශ පිළිබඳව මේ වන විට අදාළ පාර්ශවයන් සමඟ සාකච්ඡා මට්ටමේ පවතින අතර ඉතා කෙටි කලෙකින් එම මාර්ගෝපදේශ මුදල් මණ්ඩලය විසින් නිකුත් කිරීමට නියමිතය.