ක්ෂුද්‍ර මුල්‍ය රාජ්‍ය නොවන සංවිධාන සහ ක්ෂුද්‍ර ණය පිළිබඳ රැස්වීමක්

    July, 26, 2016

    ක්ෂුද්‍ර මුල්‍ය රාජ්‍ය නොවන සංවිධාන සහ ක්ෂුද්‍ර ණය පිළිබඳ රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ විධිවිධාන ක්‍රියාත්මක කිරීමේ ප්‍රගති සමාලෝචන රැස්වීමක් ආර්ථික කළමනාකරණය පිළිබඳ කැබිනට් අනු කමිටුවේ ජාතික මෙහෙයුම් මැදිරියේදී පසුගිය 22 වැනි දා පැවති බව අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය සඳහන් කරයි.

    රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය විසින් මෙම රාජ්‍ය නොවන සංවිධානවල තොරතුරු ජුලි 29 දින වන විට කැඳවමින් චක්‍රලේඛණයක් මේ වන විට නිකුත් කර ඇත.

    ශ්‍රී ලංකා මහ බැංකුව රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලය සමඟ මෙම විධිවිධානවලට අදාළ රෙගුලාසි අගෝස්තු 30 වනදා වන විට කෙටුම්පත් කිරීමට නියමිතය.

    මීට සමගාමීව මානව සම්පත ශක්තිමත් කිරීම සඳහා රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලය විසින් පුහුණු වැඩසටහන් ආරම්භ කර ඇත. රාජ්‍ය නොවන සංවිධාන සඳහා බලපත්‍ර ලබා ගැනීමට ක්ෂුද්‍ර මුල්‍ය පනත මගින් සහන කාල සීමාවක් නියම කර ඇතත් බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලිය කඩිනමින් නිම කිරීමට පියවර ගනු ඇත.

    රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය විසින් ක්ෂුද්‍ර මුල්‍ය කටයුතුවල නියැලෙන රාජ්‍ය නොවන සංවිධාන අගෝස්තු මාසය ඇතුළත කැඳවා මේ විෂය සම්බන්ධව අදහස් හුවමාරු කර ගැනිමට වැඩමුළු පැවැත්වීමට බලාපොරොත්තු වන බව එම කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.