ක්ෂුද්‍ර, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ට කොමර්ෂල් බැංකුවෙන් මූල්‍ය සාක්ෂරතාවය සහ බැංකු විසඳුම් පිළිබද webinar සම්මන්ත‍්‍රණයක්

    July, 21, 2020

    සුළු හා මධ්‍යම පරිමාණ මෙන්ම ක්ෂුද්‍ර ව්‍යවසායකයින්ගේ මූල්‍ය සාක්ෂරතාවය ඉහළ නැංවීම සහ ඔවුන්ට අවශ්‍ය බැංකු විසඳුම් පිළිබඳ දැනුම ලබාදීම සඳහා කොමර්ෂල් බැංකුව පසුගියදා සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනය (CMA) සමග ඒකාබද්ධව webinar සම්මන්ත‍්‍රණයක් පැවැත්වීය.

    Zoom මාධ්‍ය ඔස්සේ පැවැත්වූ මෙම සජීවී webinar සම්මන්ත‍්‍රණයේදී ප‍්‍රශ්න ඉදිරිපත් කර ඒවාට පිළිතුරු ලබාගැනීමේ අවස්ථාවද ලබාදී තිබුණු අතර මෙම සම්මන්ත‍්‍රණයේ වීඩියෝව මේ වනවිට කොමර්ෂල් බැංකුවේ වේබ් අඩවියට, Facebook පිටුවට සහ YouTube නාලිකාවට අප්ලෝඞ් කර තිබේ.

    සමාජ දුරස්ථභාවය රැකගනිමින් පහසුවෙන් දැනුම බෙදාහදා ගැනීමේ උපාය මාර්ගයක් ලෙස බැංකුව විසින් මෙම සම්මන්ත‍්‍රණය පැවැත්වූ අතර බැංකුවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ට මෙන්ම ක්ෂුද්‍ර ව්‍යවසායකයින්ට තරඟකාරී බව රැකගනිමින් තම ව්‍යවසායන් ඉදිරියට රැගෙනයාම සඳහා ඔවුන්ගේ ව්‍යවසායකත්ව හැකියාවන් සංවර්ධනය කිරීමට බැංකුව විසින් නිරන්තරයෙන් සිදුකරන වැඩසටහන තවදුරටත් ඉදිරියට ගෙන යාමක් ලෙසින්ද මෙය හැඳින්විය හැකිය. මෙමගින් වසංගතයට අදාළ සහයෝගයන් ලබාදීමට පිළිබඳ විශේෂ අවදානයක් යොමුකරන ලදි.

    මෙම webinar සම්මන්ත‍්‍රණය පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - පුද්ගලික බැංකු කටයුතු, සැන්ඩ‍්‍රා වල්ගම මහත්මිය මෙසේ අදහස් දැක්වූවාය. ‘කොමර්ෂල් බැංකුව සෑමවිටම කාලීන අවශ්‍යතාවය කෙරෙහි අවධානය යොමුකරන අතර ගනුදෙනුකරුවන්ට ඉහළ සේවාවක් ලබාදීම සඳහා තාක්ෂණය භාවිතා කරනවා. මේ නිසා, වසංගතයට අදාළ සහයෝගී වැඩසටහන් කිරීමට එහාට ගොස් අසීරු අවස්ථාවේදී ව්‍යාපාරික අවස්ථාවන් වැඩිදියුණු කර ගැනීමට අවශ්‍ය දැනුම ලබාදීමටත් අපි webinar මාධ්‍ය යොදාගෙන තිබෙනවා. මේ අනුව, අපි අපේ ගනුදෙනුකරුවන්ටත්, ගනුදෙනුකරුවන් නොවන අයටත් නැවතත් සහතික කරන්නේ සුළු හා මධ්‍යම පරිමාණ සහ ක්ෂුද්‍ර ව්‍යවසාය ක්ෂේත‍්‍රය සංවර්ධනය කිරීම සඳහා බැංකුව අඛණ්ඩව කැපවන බවයි.’

    කොමර්ෂල් බැංකුව සිය කෘෂිකාර්මික සහ ක්ෂුද්‍ර මූල්‍යන ඒකක 18 මගින් මෙරට බොහෝ ප‍්‍රදේශවල වෙසෙන ක්ෂුද්‍ර ව්‍යවසායකයින් වෙනුවෙන් දැනුවත් කිරීමේ වැඩසටහන් පවත්වන අතර පසුගිය වසර 09 ක කාල සීමාව තුළදී බැංකුව විසින් මෙම දැනුවත් කිරීමේ වැඩසටහන් මගින් ව්‍යවසායකයින් 11,000 කට වැඩි සංඛ්‍යාවකට සහයෝගය ලබාදී ඇත.

    තම කෘෂි කාර්මික කටයුතු සහ ක්ෂුද්‍ර ව්‍යාපාර කටයුතු සංවර්ධනය කරගැනීමට බලාපොරොත්තු වන ව්‍යවසායකයින්ගේ සුවිශේෂී අවශ්‍යතාවයන් හඳුනාගැනීමට කෘෂි කාර්මික සහ ක්ෂුද්‍ර මූල්‍යන ඒකක මගින් බැංකුවට ප‍්‍රමුඛතම සහයෝගයක් ලබාදෙයි.

    කෘෂි කාර්මික ණය සහ ක්ෂුද්‍ර මූල්‍යන කටයුතු ප‍්‍රවර්ධනය කරන බැංකුවේ කෘෂි කාර්මික සහ ක්ෂුද්‍ර මූල්‍යන ඒකක මේ වනවිට පිහිටුවා තිබෙන්නේ, රත්නපුරය, නාරම්මල, මහනුවර, අනුරාධපුරය, කිලිනොච්චිය, බණ්ඩාරවෙල, වැල්ලවාය, හිඟුරක්ගොඩ, ගලේවෙල, අච්චුවේලි, වව්නියාව, කාත්තන්කුඩි, තිස්සමහාරාමය, නෙළුව, මතුගම, පොතුවිල්, අක්කරේපත්තුව සහ නාවලපිටිය යන ප‍්‍රදේශ වලයි.