ක්ෂුද්‍ර , සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් නඟා සිටුවීමට සහන පොලී යටතේ ණය ලබා දීමේ පැකේජයක්

    January, 13, 2026

    මෙරට ක්ෂුද්‍ර , සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් නඟා සිටුවීම සඳහා අවශ්‍ය මුල්‍ය පහසුකම් ලබාදීමට මුදල් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව විශේෂ වැඩපිළිවෙළක් සකස් කර ඇත.

    සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මංජුල හෙට්ටිආරච්චි මහතා පවසා සිටියේ එම වැඩපිළිවෙළට සමගාමීව සහන පොලී යටතේ ණය ලබා දීමේ පැකේජයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව යි.

    ඔහු මේ බව පවසා සිටියේ ඊයේ (12) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී යි.

    "2026 වසර තුළ බලාපොරොත්තු වෙනවා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහන පොලී යටතේ ණය ලබා දීමේ පැකේජයක් ක්‍රියාත්මක කරන්න. මේකේ සම්පූර්ණ වටිනාකම ගත්තොත් බිලියන 95ක් පමණ මුදලක් මේ හරහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට තමන්ගේ ව්‍යාපාරික කටයුතු ආරම්භ කරන්න, තියන ව්‍යාපාර පුළුල් කරන්න සහ අවශ්‍ය තාක්ෂණය ගෙන එන්න මේ සියළුම අවශ්‍යතා සඳහා ලබා දෙන්න."

    මේ අතර ව්‍යාපාර ණය ලබාගැනීමේදී ඇපකරයක් හෝ සුරැකුම් ඉදිරිපත් කළ නොහැකි ව්‍යවසායකයින්ට සහාය දැක්වීමට 2025 වසරේ ස්ථාපිත කෙරුණු ජාතික ණය සුරැකුම් ආයතනයේ සහාය ලබාගැනීමටත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට අවස්ථාව සලසා දී ඇති බව ජාතික ණය සුරැකුම් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ජූඩ් ප්‍රනාන්දු මහතා පවසා සිටියේ ය.

    "මෙහි අඩුම ණය මුදල ලක්ෂ 5යි. වැඩිම ණය මුදල මිලියන 25යි. මේ සීමා දෙක අතරතුර ණය මුදලක් අවශ්‍ය වන හොද ව්‍යාපාරයක් පවත්වාගෙන යන, ලාභයක් ලබලා ආපසු ගෙවීමට හැකියාව ඇති ඕනෑම ව්‍යාපාරයක් ලංකාවේ තියන ව්‍යාපාරයක් මේ ඇපකරය ලබා ගැනීම සඳහා සුදුසු වෙනවා."