February, 17, 2026
2026 පෙබරවාරි මාසයේ මුල් දින 15 තුළ දී මෙරටට පැමිණ ඇති විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව 159,339ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම සංඛ්‍යාලේඛනවලින් අනාවරණය කර සිටී.
මෙහි ඇති විශේෂත්වය වන්නේ පසුගිය සතිඅන්තයේ දී 35,000 ඉක්මවූ සංචාරකයින් ප්‍රමාණයක් මෙරටට පැමිණ තිබීමයි. ඒ පෙබරවාරි 13 සිකුරාදා - 11,201ක්, පෙබරවාරි 14 සෙනසුරාදා - 12,565ක් සහ පෙබරවාරි 15 ඉරිදා 11,113ක් ලෙසිනි. ඒ අනුව සතිඅන්තයේ පැමිණි සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 34,879ක් වේ.
විශේෂයෙන් පසුගිය පෙබරවාරි 15 ඉරිදා දින කොළඹ දී පැවති ඉන්දියා - පාකිස්තාන විස්සයි 20 ලෝක කුසලාන මූලික වටයේ තරඟය ඉහළ ප්‍රේක්ෂක අවධානයක් හිමි වූ එකක් වූ අතර එය නැරඹීමට ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයකින් සංචාරකයින් රැසක් මෙරටට පැමිණ තිබුණි. මේ හේතුවෙන් එම දින කිහිපය තුළ ශ්‍රී ලංකාවට පැමිණීමේ ගුවන් ගමන් ගාස්තුවල ඉහළ යාමක් මෙන්ම කොළඹ හෝටල් කාමර ගාස්තුවල ඉහළ යාමක් ද වාර්තා වී තිබිණ. එම සතිඅන්තයේ මෙරටට පැමිණි සංචාරකයින් අතර ඉහළ ධනවතුන් හා ප්‍රභූවරුන් රැසක්ම වූ අතර පුද්ගලික ජෙට් යානාවලින් ඔවුන් පැමිණ තිබීම විශේෂත්වයකි. වාර්තා වන අන්දරමට පසුගිය සතිඅන්තයේ කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපළට පැමිණ ඇති පුද්ගලික ජෙට් යානා ගණන 15කි.
සංචාරක පැමිණීම් හි මෙම නවතම දත්ත වාර්තාවලට අනුව 2026 වසරේ මුල් මාස 1 1/2ක කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 436,666ක් දක්වා ඉහළ ගොස් ඇත.
සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කරන ලද නවතම දත්ත වාර්තා කිහිපයක් පහතින් දැක්වේ.


