කාර් සහ ඉඩම් විකිණීමේ දැන්වීම්වල මිල නොදැම්මොත් නඩු

    May, 11, 2015

    වාහන සහ ඉඩම් විකිණීම සඳහා මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරන දැන්වීම්වල අදාල වාහනය හෝ ඉඩම විකුණන මිල සඳහන් කිරීම අනිවාර්ය කරමින් පාරිභෝගික කටයුතු අධිකාරිය රෙගුලාසියක් පනවා තිබේ.

    මේ පිළිබඳව අප සමග අදහස් දක්වමින් පාරිභෝගික කටයුතු අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, ජේ.එම්.ඒ. ඩග්ලස් මහතා පැවසුවේ මෙහිදී විකුණන නිවැරදි මිල සටහන් කළ යුතු බවත් මේ තුළින් බලාපොරොත්තු වන්නේ අතරමැදියන්ගෙන් පාරිභෝගිකයින් ආරක්ෂාකර ගැනීම බවයි.

    “මෙම රෙගුලාසිය අදාළ වන්නේ වාහන සහ ඉඩම් වලට පමණක් නෙවෙයි. නිවාස, ඉලෙක්ට්‍රොනික උපකරණ ඇතුළු සියළුම භාණ්ඩ අලෙවිකරන දැන්වීම් සඳහා මෙය අදාළයි. මෙම රෙගුලාසියට පටහැනි අයුරින් ක්‍රියාකළ හොත් ඔවුන්ට විරුද්ධව නඩු පැවරීමට අධිකාරිය කටයුතු කරනවා.“

    යනුවෙන් ඩග්ලස් මහතා වැඩිදුරටත් කීය.

    ඔහු සඳහන් කළේ අනිකුත් භාණ්ඩ විකිණීමේදී බොහෝවිට මිල සඳහන් වුවත් වාහන සහ ඉඩම් විකිණීමේ දැන්වීම්වල මිල සඳහන් වන්නේ බොහෝ කලාතුරකින් බවයි.