කාර් 15 ක මිල අඩුවෙලා – ඇමති රවී කියයි

    June, 1, 2016

    නව ඒකක බදු ක්‍රමය අනුව මෝටර් රථ 46 ක මිල වැඩි වී තිබෙන බවත්, තවත් මෝටර් රථ වර්ග 15 ක මිල අඩු වී තිබෙන බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය. ඔහු මේ බව කියා සිටියේ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක් අතරවාරයේ දීය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මුදල් අමාත්‍යවරායා කියා සිටියේ මෙම නව බදු සංශෝධනය වාහන ආනයනකරුවන්ගේ ඉල්ලීම පරිදි සිදුකළ දෙයක් බවයි.

    “වාහන ආනයනකරුවන් සහ කර්මාන්තයේ නිරත අය ඉල්ලීම් කළේ මේ සඳහා එක සෘජු ප්‍රතිපත්තියක් තියන්න කියලා. අපි මේ අවස්ථාවේ කළේ ඔවුන්ගේ ඉල්ලීම ඉටු කිරීමයි. වාහන ආනයනකරුවන් සමිති දෙකක් තියෙනවා. තවත් සමාගම් 18 ක් සිටිනවා. ඔවුන් සහ තවත් අය එකතු වෙලා ඔවුන්ගේ ඉල්ලීම පරිදි මේක කළා. ඒ අනුව ඒකක බද්දක් හඳුන්වා දුන්නා. ඊට අනුව කාර් 46 ක් වැඩිවෙලා තියෙනවා. 15 ක් අඩුවෙලා තියෙනවා“, යැයි අමාත්‍යවරයා පැවසීය.

    මෙහිදී මුදල් අමාත්‍යවරයා කියා සිටියේ වාහනයක් මිල දී ගැනීමට ගන්න අවශ්‍ය කෙනෙක් සිටිනවා නම් මිල අඩු වුණු වාහන 15 වර්ග ගැන සැලකිලිමත් විය හැකි බවයි.

    “ඩීසල් ත්‍රීවීල් 70,000 කින් පෙට්‍රල් ත්‍රීවීල් 30,000 කින් වැඩිවෙලා තියෙනවා. ත්‍රී ලංකාවේ අවශ්‍ය ප්‍රමාණයට වඩා ත්‍රීවීල් තියෙනවා කියලා රෝද රියැදුරන් විසින්ම අපෙන් ඉල්ලීමක් කරලා තියෙනවා“, යැයි වැඩිදුරටත් අමාත්‍යවරයා කියා සිටියේය.