කැපිටල් එලායන්ස් හෝල්ඩිංග්ස් කොටස් වෙළෙඳපොළ සම්ප්‍රාප්තිය අදයි

    May, 30, 2025

    කොළඹ කොටස් වෙළෙඳපොළෙ හි ලැයිස්තුගත කෙරුණු නවතම සමාගම වන කැපිටල් එලායන්ස් හෝල්ඩිංග්ස් ලිමිටඩ් හි ද්විතීයික වෙළෙඳපොළ ගනුදෙනු අද (30) පෙරවරුවේ දී ආරම්භ විය.

    කැපිටල් එලායන්ස් හෝල්ඩිංග්ස් ලිමිටඩ් හි සභාපති දිනේෂ් ඩි සොයිසා, කොළඹ කොටස් වෙළෙඳපොළ සභාපති ඩිල්ෂාන් විරසේකර ඇතුළු ආරාධිතයින් රැසකගේ ප්‍රධානත්වයෙන් කොළඹ කොටස් වෙළඳපොළ ගනුදෙනු භූමියේ දී (Trading Floor) මෙලෙස කැපිටල් එලායන්ස් හෝල්ඩිංග්ස් ලිමිටඩ් හි කොටස් වෙළෙඳපොළ සම්ප්‍රාප්තිය සිදුවිය.

    එහිදී දෛනික ගනුදෙනු ආරම්භ කිරීමේ සම්ප්‍රදායික සීනුව නාද කිරීමේ උත්සව අවස්ථාවක් සංවිධානය කර තිබූ අතර කැපිටල් එලායන්ස් හෝල්ඩිංග්ස් ලිමිටඩ් හි සභාපති දිනේෂ් ඩි සොයිසා මහතා විසින් සීනුව නාද කරමින් අද දින නිල වශයෙන් දෛනික ගනුදෙනු සමාරම්භය සනිටුහන් කළේය.

    කැපිටල් එලායන්ස් හෝල්ඩිංග්ස් ලිමිටඩ් හි ඡන්ද බලය හිමි සාමාන්‍ය කොටස් බිලියන 2ක්, කොළඹ කොටස් වෙළෙඳපොළේ ප්‍රධාන පුවරුවෙහි අද සිට ලැයිස්තුගත කර ඇත.

    කැපිටල් එලායන්ස් හෝල්ඩිංග්ස් ලිමිටඩ් විසින් කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත වීම සඳහා පසුගිය මැයි 08 දින මූලික මහජන කොටස් නිකුතුවක් සිදුකරනු ලැබීය. ආරම්භක දිනයේ දීම ඒ සඳහා අධිදායකත්වයක් ලැබී තිබුණ බැවින් එදිනම එම කොටස් නිකුතුව වසාදමන බව එම නිකුතුවේ රෙජිස්ට්‍රාර් සමාගම මැයි 08 දා නිවේදනය කර තිබුණි. මේ අතර කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දීමක් කරමින් කැපිටල් එලායන්ස් ලිමිටඩ් කියා සිටියේ අදාළ නිකුතුවේ දී කොටස් මිලියන 157.5 ක් නිකුත් කිරීමට ඉදිරිපත් කළද, කොටස් බිලියන 2.33 ක් වෙනුවෙන් අයදුම්පත් ලැබී තිබුණු බවයි. සමාගම සඳහන් කරන ආකාරයට එහිදී ලැබී ඇති සමස්ත අයදුම්පත්වල වටිනාකම රු. බිලියන 23.3 ඉක්මවා තිබුණි.

    අද පෙරවරුවේ ගනුදෙනු ආරම්භ වී මුල් පැය ඇතුළත රු. 14.00 - 15.00 ක් දක්වා මිල ගණන්වල, කැපිටල් එලායන්ස් හෝල්ඩිංග්ස් ලිමිටඩ් හි කොටස්, ගනුදෙනු වනු නිරීක්ෂණය කළ හැකි විය.