කැලණියේ නිවාස ව්‍යාපෘතියකට ඉඩමක්

    July, 16, 2024

    ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව සතු කැලණිය, වෙදමුල්ල පිහිටි අක්කර 12ක පමණ ඉඩමක් එච්.එම්.කේ. ප්‍රොපටි ඩිවෙලොපර්ස් (පෞද්ගලික) සමාගම වෙත ලබා දීමට අනුමැතිය ලබා දීම පිණිස ආයෝජන ප්‍රවර්ධනය පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකමිටු රැස්වීමේදී මීට පෙර අනුමැතිය ලබා දී ඇත.
    එහෙත්, අදාළ එකඟතාවන්ට අනුගතව කටයුතු කිරීමට එකී සමාගම අපොහොසත් වීම හේතුවෙන් අදාළ ඉඩම් කොටස එම සමාගම වෙත ලබා දීමට මෙතෙක් පියවර ගෙන නොමැත.
    එකී ඉඩමේ අදියර 03ක් යටතේ නිවාස ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා අදාළ ඉඩම් කොටස ලබා ගැනීම පිණිස එච්.එම්.කේ. ප්‍රොපටි ඩිවෙලොපර්ස් (පෞද්ගලික) සමාගම විසින් නැවත ඉල්ලීමක් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය මඟින් ඉදිරිපත් කර තිබේ.
    ඒ අනුව, යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා හඳුනාගනු ලැබ ඇති අක්කර 08 - රූඩ් 02 - පර්චස් 16.26ක ඉඩම් කොටසක් රජයේ ප්‍රධාන තක්සේරුකරු විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති වර්තමාන තක්සේරුව මත පදනම්ව එකී සමාගම වෙත ලබා දීම පිණිස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.