කුළුබඩු ආශ්‍රිත පොකුරු ගම්මාන වැඩසටහන ඇරඹේ

    March, 11, 2026

    කුළුබඩු හෙවත් අපනයන කෘෂිබෝග ඉලක්ක කරගනිමින් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් ක්‍රියාත්මක කරන පොකුරු ගම්මාන වැඩසටහනේ සමාරම්භය ඊයේ (10) කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් කෑගල්ලේදී ආරම්භ කෙරිණි.

    අපනයන කෘෂි මහිම ජාතික වැඩසටහනට සමගාමීව පොකුරු ගම්මාන වැඩසටහන ක්‍රියාත්මක වේ.

    මෙහිදී අපනයන කෘෂිබෝග විදේශ වෙළඳපොළ අවශ්‍යතාවයන්ට ගැළපෙන අයුරින් සැකසීම හා එහි ගුණාත්මක තත්ත්වය උසස් අයුරින් පවත්වා ගැනීම කෙරෙහි මෙන්ම එම ප්‍රදේශයට ආවේණික අයුරින් කුළුබඩු සකස් කිරීම කෙරෙහි විශේෂ අවධානය යොමු කරයි.

    කුළුබඩු කර්මාන්තයේ නියැලෙන වගාකරුවන්, නිෂ්පාදකයන්, අපනයනයකරුවන් ආදී පාර්ශවකරුවන් ඒකරාශී කොට සාමූහික කණ්ඩායම් ලෙස ගොඩ නැංවීම මෙහි තවත් අරමුණකි. ශ්‍රී ලංකේය කුළුබඩු නිෂ්පාදනවල අනන්‍යතාවය විදේශ වෙළඳපොළේ තහවුරු කර ගැනීමට මෙඟින් අවස්ථාව සැලසෙයි.

    2026 වසර තුළදී දිවයින පුරා පොකුරු ගම්මාන 200ක් ආරම්භ කිරීමට නියමිත අතර, 2030 වනවිට එය ගම්මාන 500ක් දක්වා වර්ධනය කිරීමට අපේක්ෂිතය. 2030 වනවිට කුළුබඩු අපනයනයෙන් ඩොලර් මිලියන 455ක ඉලක්කයක් සපුරා ගැනීම අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අරමුණයි.

    මෙම පොකුරු ගම්මාන වැඩසටහන යටතේ තෝරාගත් ගම්මානවල අපනයන කෘෂි නිෂ්පාදන සමිති පිහිටුවා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කරනු ලැබේ. එසේම න්ෂ්පාදන ධාරිතාව වැඩි කිරීම සහ මූලික වගා තාක්ෂණය වගාකරුවන් වෙත ලබාදීම පළමු වසර දෙක තුළදී සිදු කෙරේ. ඉන් අනතුරුව ගුණාත්මකභාවය ඉහළ නැංවීමටත් සහතිකකරණ හා අගය එකතු කළ නිෂ්පාදන කරා යොමු වීමටත් අවස්ථාව සැලසේ. විදේශ වෙළඳපොළ සම්බන්ධීකරණය කිරීම ඉන් අනතුරුව සිදු කරනු ලබයි.