කෘෂි නවීකරණය වෙනුවෙන් කොමර්ෂල් බැංකුව සමඟ බ්‍රවුන්ස් අත්වැල් බැඳ ගනී

    December, 10, 2025

    ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සවිබලගැන්වීම සහ ගොවීන්ට මෙන් ම කෘෂිකාර්මික ව්‍යවසායකයින්ට නවීන කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ සහ තාක්ෂණය සමීප කරවීම අරමුණු කර ගනිමින් කොමර්ෂල් බැංකුව බ්‍රවුන් සහ සමාගම සමඟ උපායමාර්ගික හවුල්කාරිත්වයකට පැමිණ ඇත.

    කෘෂිකාර්මික නවීකරණයේ වර්ධනය ඉලක්ක කරමින් නිර්මාණය වූ විශේෂ ලීසිං පහසුකම් සහිත අවබෝධතා ගිවිසුමක් (MoU) හරහා ආයතන දෙක අතර තිබෙන දිගුකාලීන සහයෝගීතාවය ඉදිරියට ගෙනයන අතර කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ යාන්ත්‍රිකකරණය, ඵලදායිතාව සහ තිරසාරභාවය ප්‍රවර්ධනයට ඔවුන් දක්වන දායකත්වය ඒයින් පිළිබිඹු කරයි.

    මෙම ගිවිසුම යටතේ කොමර්ෂල් බැංකුව තම කෘෂි ලීසිං සහ දිරිබල හරිත සංවර්ධන ණය යෝජනා ක්‍රමය යටතේ බ්‍රවුන්ස් ඇග්‍රිකල්චර් විසින් අලෙවි කරනු ලබන කෘෂිකාර්මික වාහන, යන්ත්‍රෝපකරණ සහ උපකරණ, ආරක්ෂිත ජල නළ පද්ධති සහ පසු අස්වනු යන්ත්‍රෝපකරණ මිලදී ගැනීම සඳහා විශේෂ මූල්‍ය පහසුකම් ලබා දෙයි.

    මෙම ප්‍රවර්ධන වැඩසටහන යටතේ උපකරණ මිලදී ගන්නා ගොවීන්ට බ්‍රවුන්ස් ඇග්‍රිකල්චර් විසින් සුවිශේෂී ප්‍රතිලාභ රැසක් හිමි වන අතර තෝරාගත් රෝද දෙකේ ට්‍රැක්ටර් මාදිලි සඳහා නොමිලේ පළමු වසරේ රක්ෂණය සහ සියලුම ට්‍රැක්ටර් සඳහා පළමු සර්විස් හතර සදහා නොමිලේ ශ්‍රමය ලබා දෙනු ඇත. යමහා සහ සුමෝ අස්වනු නෙළන යන්ත්‍ර සඳහා කම්කරු ගාස්තු රහිත සේවා සහ SUMO ස්වයංක්‍රීය සහල් ඇඹරුම් යන්ත්‍ර සඳහා පළමු වසර වෙනුවෙන් නොමිලේ IoT මත පදනම් වූ දුරස්ථ අධීක්ෂණය සහ උපකරණ පරීක්ෂා කිරීම ඇතුළත් වේ. සෑම SUMO සහල් මෝලක් සඳහා ම නිෂ්පාදන දෝෂ සඳහා වසරක වගකීමක් සහ පළමු වසර තුළ කම්කරු ගාස්තු රහිත සේවාවක් ද හිමි වෙයි.

    මෙම හවුල්කාරිත්වය පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුව පවසා සිටියේ කෘෂි ලීසිං සහ දිරිබල හරිත සංවර්ධන ණය යෝජනා ක්‍රමය තුළින් ස්මාර්ට්, පරිසර හිතකාමී කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ සඳහා ප්‍රවේශය පහසු කර තිරසාර ගොවිතැන් ක්‍රම ප්‍රවර්ධනය කර ජාතික ආහාර සුරක්ෂිතතාවයට දායක වන බවත් ග්‍රාමීය ගනුදෙනුකරුවන් සමඟ සම්බන්ධතා ශක්තිමත් කරන බවත් ය.

    ඇමරිකානු ඩොලර් බිලියන 1 කට අධික වෙළඳපල ප්‍රාග්ධනීකරණයක් සහිත ශ්‍රී ලංකාවේ පළමු බැංකුව වන කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු දේශීය බැංකුව මෙන්ම කොළඹ කොටස් වෙළඳපල බැංකු අංශයේ ඉහළම වෙළඳපල ප්‍රාග්ධනකරණයක් ඇති බැංකුව වේ. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ.

    දිවයින පුරා උපායමාර්ගිකව පිහිටා ඇති ශාඛා සහ ස්වයංක්‍රීය යන්ත්‍ර ජාලයක් ක්‍රියාත්මක කරන අතර, බැංකුව බංග්ලාදේශයේ ශාඛා 20 ක්, මාලදිවයිනේ බහුතර කොටස් හිමිකාරිත්වයක් සහිත පූර්ණ මට්ටමේ පළමු පෙළ බැංකුවක්, මියන්මාරයේ ක්ෂුද්‍ර මූල්‍ය සමාගමක් සහ ඩුබායි ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය (DIFC) තුළ නියෝජිත කාර්යාලයක් සමඟින් ශ්‍රී ලාංකික බැංකු අතර පුළුල්ම ජාත්‍යන්තර පියසටහනක් තබා ඇත. මීට අමතරව බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය දරන CBC ෆිනෑන්ස් ලිමිටඩ් සහ කොමර්ෂල් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් සමාගම තම ශාඛා ජාල හරහා පුළුල් පරාසයක මූල්‍ය සේවා සපයයි.

     

    සේයාරු සටහන: කොමර්ෂල් බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී එස්. ප්‍රභාගර් මහතා සහ බ්‍රවුන්ස් ඇග්‍රිකල්චර් හි අලෙවි ප්‍රධානී තුෂාන් ගුණරත්න මහතා සමාගම් දෙකේ නියෝජිතයින් ඉදිරියේ ගිවිසුම හුවමාරු කර ගැනීම.