December, 1, 2015
කොළඹ කොටස් වෙළෙඳපොළ කොටස් තැරැව්කරණයේ යෙදෙන සමාගම් ඒකාබද්ධ කිරීම සඳහා මෙවර අයවැයෙන් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා යෝජනා කර තිබේ. කොටස් වෙළෙඳපොළේ අස්ථාවරත්වයන් හේතුවෙන් කොටස් තැරැව්කරුවන්ට සැලකිය යුතු තරම් අර්බුදවලට මුහුණපෑමට සිදුවී තිබෙන බවත්, ප්‍රාග්ධන වෙළෙඳපොළේ දිගුකාලීන දියුණුව තහවුරු කිරීම සඳහා කොටස් තැරැව්කරුවන් ඔවුන් විසින්ම ස්ථාවර වීම අතිශයින් වැදගත් බවත් මෙහිදී මුදල් අමාත්‍යවරයා අවධාරණය කර සිටී.
මේ සම්බන්ධයෙන් කොළඹ කොටස් තැරැව්කරුවන්ගේ සංමයේ සභාපති, කැන්ඩර් සමූහ අධ්යක්ෂ රවී අබේසූරිය මහතාගෙන් අද දෙරණ Biz කළ විමසීමක දී ඔහු මෙසේ කියා සිටියේය.
“මෙය ඉතා හොඳ යෝජනාවක්. කොටස් වෙළෙඳපොළ අවශ්‍යතාවට වඩා වැඩියෙන් තැරැව්කාර සමාගම් තිබෙනවා. මේ නිසා ආයතන අතර අනවශ්‍ය තරඟකාරීත්වයක් ඇති වෙලා. එහි ප්‍රතිඵලයක් ලෙසින් යහපත් ක්රියාපාටීන් අනුගමනය කිරීමෙන් බැහැර වෙලා ලාභ ලබන්න කටයුතු කරන අවස්ථා දකින්නට ලැබෙනවා.“
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කොළඹ කොටස් තැරැව්කරුවන්ගේ සංගමයේ සභාපතිවරයා කියා සිටියේ, සුරැකුම්පත් හා විනිමය කොමිසමේ අනුබලය ඇතිව තැරැව්කාර සමාගම් ඒකාබද්ධ කිරීම සඳහා ක්‍රමවේදයක් ලබාදිය හැකි නම් එය ඉතා හොඳ පියවරක් වනු ඇති බවයි. මෙවැනි කටයුත්තක් මීට පෙර මැලේසියාවේ ඉතාම සාර්ථක ලෙස ක්‍රියාත්මක කර තිබෙන බව ද අබේසූරිය මහතා මෙහිදී පැවසීය.
මීට වසර 4 කට පමණ පෙර ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසම විසින් කොටස් තැරැව්කාර සමාගම් කිහිපයක් ඇරඹීම සඳහා අලුතෙන් බලපත්‍ර ලබා දීම සම්බන්ධයෙන්, අද දෙරණ Biz රවී අබේසූරිය මහතාගෙන් මෙහිදී විමසීමක් කළේය. “2009-10 කාලයේ කොටස් වෙළෙඳපොළේ ඇතිවුණු දැවැන්ත ඉහළ යාම නිසා නව තැරැව්කාර සමාගම් සඳහා බලපත්‍ර නිකුත් කිරීමට සුරැකුම්පත් හා විනිමය කොමිසම පියවර ගත්තා. මෙය අනවශය වැඩක්. දෛනිකව බිලියන ගණන් පිරිවැටුමක් තිබෙනවා නම් මෙහි ප්‍රශ්නයක් නැහැ. එහෙත් අද වන විට දිනකට මිලියන 600-700 ක් පමණ පිරිවැටුමක් තමයි දකින්න තිබෙන්නේ. එමනිසා සමාගම් 28 ක් පවත්වාගෙන යන්න තරම් ප්‍රමාණවත් ගනුදෙනු සිදුවන්නේ නැහැ. එබැවින් තැරැව්කාර සමාගම් ඒකාබද්ධ කිරීමට කටයුතු කිරීම ඉතා හොඳ පියවරක් ලෙස හඳුන්වන්න පුළුවන්.“
මේ අතර අයවැය යෝජනා තුළින් කොටස් ගනුදෙනු සඳහා රජය විසින් අය කළ 0.3% බද්ද ඉවත් කිරීමට පියවර ගැනීම ද යහපත් මුලපිරීමක් බව කොළඹ කොටස් තැරැව්කරුවන්ගේ සංගමයේ සභාපති රවී අබේසූරිය මහතා අද දෙරණ Biz සමඟ කියා සිටියේය.
මේ වන විට සමාගම් 28 ක් කොටස් තැරැව්කරණය සඳහා බලපත්‍ර ලබා ගෙන ක්‍රියාත්මකව පවතී. මෙයින් සමාගම් 15 ක් කොළඹ කොටස් වෙළෙඳපොළේ පූර්ණ සාමාජිකයින් ලෙසත්, සමාගම් 13 ක් වෙළෙඳ සාමාජිකයින් (Trading Members) ලෙසත් කටයුතු කරනු ලබයි.
Video Story