November, 18, 2014
පවතින යහපත් ආයෝජන වාතාවරණය හමුවේ සේවක අර්ථ සාධක අරමුදල විසින් කොළඹ කොටස් වෙළඳ පොළේ කර තිබෙන ආයෝජනවල තවමත් විකුණා නොමැති කොටස් වලින් 2014 නොවැම්බර් 14 වනදා වනවිට රුපියල් බිලියන 14 ඉක්මවන ලාභයක් ලබා ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
මේ අතර, මහ බැංකුව පවසා තිබෙන්නේ 2014 වසරේ මේ දක්වා සේවක අර්ථ සාධක අරමුදල විසින් කොටස්වල හා ආයතනික ණය උපකරණවල කර තිබෙන ආයෝජන වලින් ලාභාංශ, පොලී, ප්‍රාග්ධන ලැබීම්, ලෙස රුපියල් බිලියන 6.7 ක ලාභයක් ලබා එය අරමුදලට බැර කිරීමට කටයුතු කර තිබෙන බවයි.
සේවක අර්ථ සාධක අරමුදල 2012 වාර්ෂික වාර්තාව පසුගියදා නිකුත් කර තිබුණු අතර එයට විගණකාධිපති එච්. ඒ. එස්. සමරවීර මහතා විසින් සපයා තිබෙන ඇමුණුමේ දැක්වෙන්නේ 2013 දෙසැම්බර් 16 වනදා වනවිට සේවක අර්ථ සාධක අරමුදල විසින් කොටස් වෙළඳ පොළේ සමාගම් 64 ක කර තිබුණු රුපියල් බිලියන 50.7 ක ආයෝජන වලින් රුපියල් බිලියන 14.4 ක පාඩුවක් ලබා තිබෙන බවයි.
මේ පිළිබඳව අප ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවේදී ඔහු සඳහන් කළේ 2013 දෙසැම්බර් 16 වනදායින් පසුව තත්ත්වය වෙනස්වී තිබෙන බවත් කොටස් වෙළඳ පොළේ ආයෝජන මගින් අරමුදලට ලාභ ලැබී තිබෙන බවයි.
මෙහිදී, අවබෝධකර ගත යුත්තේ මෙම ලාභ හෝ අලාභ ලබා තිබෙන්නේ තවමත් විකුණා නොමැති කොටස් වලින් වීමයි. මේ නිසා, මෙම ලාභ හෝ පාඩු සේවක අර්ථ සාධක අරමුදලේ ගිණුම් හිමියන්ට බැර නොවේ.
මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයා පැවසුවේ බැංකුව කිසිවිටෙකත් පාඩුවට කොටස් විකුණා සාමාජිකයින්ගේ ගිණුම් වලට බැර නොකරන බවත් මේවා දිගු කාලීන ආයෝජන නිසා මේවායේ මිල ගණන් ඉදිරියේදී වැඩිවනු ඇති බවයි.
Video Story