කොටස් වෙළඳපොළ, බණ්ඩාරවෙල විවෘත කරන ලද නව ශාඛාවත් සමගින් පළාත් මට්ටමේ තම සක්‍රීය දායකත්වය ශක්තිමත් කරයි

    April, 25, 2025

    කොළඹ කොටස් හුවමාරුව (CSE) සිය බණ්ඩාරවෙල ශාඛාව මහජනතාව සඳහා නිල වශයෙන් විවෘත කරන ලද අතර, එමගින් දිවයින පුරා ව්‍යාප්තව පවතින තම ශාඛා ජාලය තවදුරටත් ශක්තිමත් කරන ලදි. රාජ්‍ය හා පෞද්ගලික අංශ නියෝජනය කරමින්, සහභාගීවූ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන්, කොළඹ කොටස් හුවමාරුවේ සභාපති දිල්ෂාන් වීරසේකර මහතා සහ ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ (SEC) සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය හරීන්ද්‍ර දිසාබණ්ඩාර මහතා විසින් ශාඛාව විවෘත කරන ලදී.

    මෙම විවෘත කිරීමත් සමඟම, කොළඹ කොටස් හුවමාරුව ශ්‍රී ලංකාවේ පළාත් නවයේම තම සේවා දායකත්වය සනිටුහන් කරන අතර, දැනට මාතර, මහනුවර, කුරුණෑගල, මීගමුව, යාපනය, මඩකලපුව, අනුරාධපුර, රත්නපුර, පානදුර සහ බණ්ඩාරවෙල යන නගරවල තම ශාඛා පිහිටුවා ඇත.

    කොළඹ කොටස් හුවමාරුවේ අනෙකුත් ශාඛා මෙන්ම, බණ්ඩාරවෙල ශාඛාව මඟින් CDS ගිණුම් විවෘත කිරීම, කොටස් තැරැව්කාර සමාගම් වෙත ප්‍රවේශය වීම, ආයෝජකයන් දැනුවත් කීරීමේ වැඩමුළු සහ කොටස් වෙළඳපොළේ තොරතුරු විමසීමට හෝ ඔවුන්ගේ ආයෝජන ආශ්‍රිත විමසීම් සම්බන්ධ පැහැදිලි කිරීම් ලබා ගැනීම සදහා පුද්ගලාරෝපිත මග පෙන්වීම ඇතුළු සේවාවන් රැසක් සඳහා පහසුකම් සපයා ඇත.

    මෙම අවස්ථාව පිළිබඳව අදහස් දක්වමින් ඩිල්ෂාන් විරසේකර මහතා පවසා සිටියේ, “බණ්ඩාරවෙල ශාඛාව විවෘත කිරීමත් සමඟ, කොළඹ කොටස් හුවමාරුව හරහා ප්‍රාග්ධන වෙළඳපොළ ජනතාවට සමීප කරවමින්, ඌව පළාත පුරා සිටින පුද්ගලයින්ට ඔවුන්ගේ මූල්‍ය සැලසුම් සහ ආයෝජන වලදී දැනුවත්වීම් ලබා ගැනීමට සහ බලගැන්වීමට ඉඩ සැලසෙන බවයි.”

    "අප සිටින්නේ බැංකු සහ මූල්‍ය සමාගම් සමඟ තරඟ කිරීමට නොව, මූල්‍ය තීරණ ගැනීමේදී නව මානයක් හඳුන්වා දෙමින්, ඔවුන් පිරිනමන සේවාවන්ට අතිරේකව සේවා සැපයීමටයි - එමෙන්ම කොටස් වෙළඳපොළ හරහා ඔබේ ඉතුරුම් සඳහා විකල්ප ආයෝජන මාර්ගයක් ලබා දීමෙන්, ඔබේ ධනය වර්ධනය කර ගැනීමේ හැකියාව මේ තුළින් ලැබේ."

    විශේෂයෙන්ම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා, ප්‍රාග්ධන රැස්කිරීමේ පහසුකම් සපයන්නෙකු ලෙස කොළඹ කොටස් හුවමාරුවේ කාර්යභාරය පිළීබදව ද, වීරසේකර මහතා අවධාරණය කළේය. “කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අපගේ ආර්ථිකයේ කොඳු නාරටිය වන අතර, එම්පවර් බෝඩ් (Empower Board) යනු, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් සඳහා ප්‍රාග්ධනය රැස් කිරීමට සහ ඔවුන්ගේ මෙහෙයුම් පරිමාණය තීරණය කිරීමට කැපවූ ස්ථානයකි. ඒ අනුව, කලාපයේ ව්‍යාපාර හිමියන්ට තම ව්‍යාපාර අවස්ථා පුළුල් කිරීමට සහ දිගුකාලීන වර්ධනය සඳහා, කොළඹ කොටස් හුවමාරුව මගින් ලබා දෙන අවස්ථා හා සම්බන්ධ වන මෙන් අප ඔබට සාදරයෙන් ඇරයුම් කරන්නෙමු.”

    ආයෝජකයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, වෙළෙඳපොළ සාධාරණත්වය, කාර්යක්ෂමතාව සහ විනිවිදභාවය සහතික කිරීම, පද්ධතිමය අවදානම අඩු කිරීම සහ ප්‍රාග්ධන වෙළඳපොළ සංවර්ධනය කිරීම, ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළඳපොළ නියාමන ආයතනය ලෙස කටයුතු කරන, රාජ්‍ය ආයතනයක් වන සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවෙහි වගකීම වේ. ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළඳපොළේ අඛණ්ඩතාව සහ ප්‍රගතිය ආරක්ෂා කිරීමේදී අප දරන ප්‍රධාන වගකීම් බව," සමාරම්භක උත්සවයේදී ජ්‍යෙෂ්ඨ මහාචාර්ය හරීන්ද්‍ර දිසාබණ්ඩාර මහතා පැහැදිලි කළේය."

    තවද, කොළඹ කොටස් හුවමාරුව විසින් මෙම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා, එදිනම සවස බණ්ඩාරවෙල හෝටලයේදී, වෘත්තිකයන් සහ දේශීය ව්‍යාපාරික ප්‍රජාව සඳහා ආයෝජක සංසදයක් පවත්වන ලදී. විනිමය හා සුරැකුම්පත් කොමිෂන් සභාවෙහි සභාපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය හරීන්ද්‍ර දිසාබණ්ඩාර මහතා විසින් ආයෝජකයන්ගේ ආරක්ෂාව පිළිබඳ දැනුවත් කරමින් ඉදිරිපත් කිරීමක් ද, HNB කොටස් තැරැව්කාර (පුද්ගලික) සමාගමේ විකුණුම් අධ්‍යක්ෂ, කපිල පතිරගේ මහතා විසින්, සාර්ව ආර්ථික දැක්ම සහ වෙළඳපල අවස්ථා පිළිබඳ ඉදිරිපත් කිරීම් සිදු කරන ලදී. ඉන්පසුව, කොළඹ කොටස් හුවමාරුවේ සහ සුරැකුම්පත් කොමිසමේ සභාපතිවරුන් සහ කපිල පතිරගේ මහතා සහභාගී වූ සාකච්ඡාවක් ද පැවැත්විණි. එය මෙහෙයවනු ලැබුවේ කොළඹ කොටස් හුවමාරුවේ ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක මහතා විසිනි.

     

    ඡායාරූප විස්තරය - CSE බණ්ඩාරවෙල ශාඛාව විවෘත කිරීම