කොටස් වෙළෙඳපොළෙන් අද රු. බිලියන 18.7ක දැවැන්ත පිරිවැටුමක්

    May, 27, 2025

    කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ සුවිශේෂී මංසළකුණක් සනිටුහන් කරමින් අද දිනයේ දී රු. බිලියන 18.7ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා විය.

    එසේම දිනය තුළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 161.39කින් ඉහළ ගොස් දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒකක 16,667.63 ක් ලෙසින් සටහන් වූ අතර S&P SL20 දර්ශකය ඒකක 77.17 කින් ඉහළ ගොස් ඒකක 4,916.11ක් ලෙසින් සටහන් වී තිබුණි.

    අද දින දැවැන්ත ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වීමට ප්‍රධාන වශයෙන් දායකත්වය ලබාදෙන ලද්දේ හැටන් නැෂනල් බැංකුවේ (HNB) සිදුවූ කොටස් ගනුදෙනුවක් විසිනි.

    එහිදී HNB බැංකුවේ කොටස් හිමි ලැයිස්තුවේ පළමු ස්ථානයෙහි රැඳී සිටි බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී විසින් 9.99% ක් වූ සිය සමස්ත කොටස් හිමිකාරීත්වය අලෙවි කර තිබුණු අතර සිලෝන් ස්ටීල් කෝපරේෂන් (ලංවා) විසින් එය මිල දී ගෙන තිබුණි.

    කැපිටල් එලායන්ස් සිකියුරිටීස් (පුද්) සමාගම, සිලෝන් ස්ටීල් කෝපරේෂන් වෙනුවෙන් ගැනුම්කාර පාර්ශවයේ තැරැව්කරු ලෙස කටයුතු කර ඇති අතර, ඔවුන් බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී වෙනුවෙන් අදාල ගනුදෙනුවේ විකුණුම් පාර්ශවය වෙනුවෙන් ද 60% ක ප්‍රමාණයක් සඳහා පහසුකම් සලසා ඇත.

    මෙහි දී හැටන් නැෂනල් බැංකුවේ කොටසක් රු. 305.00 බැගින් ඡන්ද බලය හිමි සාමාන්‍ය කොටස් 45,317,177ක් ගනුදෙනු වී ඇති අතර එම ගනුදෙනුව හරහා රු. බිලියන 13.82 ක පිරිවැටුමක් වාර්තා වී තිබේ. මීට අමතර කොටසක් රු. 320 බැගින් වූ 319,405ක කොටස් ප්‍රමාණයක් ද අද පස්වරුවේ, ගිවිසා ගනු ලැබූ ගනුදෙනු දෙකක් හරහා හුවමාරු වී තිබුණි. සමස්තයක් ලෙස අද දිනයේ දී ගිවිසා ගනු ලැබූ හා සාමාන්‍ය වෙළෙඳපොළ ගනුදෙනු හරහා රු. බිලියන 14.42ක වටිනාකමකින් යුතු හැටන් නැෂනල් බැංකු කොටස් ප්‍රමාණයක් හුවමාරු වී ඇත.

    අද දින සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනයට ඉහළම දායකත්වය ලැබී තිබුණේ ද හැටන් නැෂනල් බැංකුවෙනි. අද ගනුදෙනු අවසානයේ දී හැටන් නැෂනල් බැංකුවේ කොටසක මිල රු. 319.50 ක් ලෙසින් දැක්වුණු අතර එය පෙර දිනයට සාපේක්ෂව රු. 17.25ක හෙවත් 5.71% ක ඉහළ යාමකි.