January, 8, 2026
ඊයේ (08) දිනයේ දී කොටස් වෙළෙඳපොළේ සිදුවූ අනපේක්ෂිත වාතාවරණයෙන් පසු, යථා පරිදි කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අද පෙරවරුවේ ආරම්භ විය.
අද දින දක්නට ලැබුණු සුවිශේෂී කාරණාව වූයේ රු. බිලියන 12.32ක දැවැන්ත ගනුදෙනු පිරිවැටුමක් දිනය තුළ වාර්තා වීමයි. මේ සඳහා ප්‍රධාන වශයෙන් LEE HEDGES PLC සමාගමේ සිදුවූ රු. බිලියන 3.93ක වටිනාකමකින් යුතු ගිවිසා ගනු ලැබූ ගනුදෙනුවක් හේතුවිය.
මීට අමතරව වෙල්ත්ට්‍රස්ට් සිකියුරිටීස් සමාගම නිල වශයෙන් සිය ද්විතීයික වෙළෙඳපොළ ගනුදෙනු අද දින ආරම්භ කළ අතර එම සමාගමේ කොටස් ගනුදෙනුවලින් රු. බිලියන 1.16ක පිරිවැටුමක් වාර්තා වී තිබුණි. සිය මූලික මහජන කොටස් නිකුතුවේ දී රු. 7.00 බැගින් නිකුත් කෙරුණු වෙල්ත්ට්‍රස්ට් සිකියුරිටීස් ලිමිටඩ් හි කොටසක මිල අද දිනයේ දී රු. 14.90 - 19.80 දක්වා මිල ගණන්වල ගනුදෙනු වනු නිරීක්ෂණය කළ හැකිවිය. එහි අවසන් ගනුදෙනු මිල රු. 18.90 ක් ලෙසින් සටහන් වී තිබුණු අතර ඒ අනුව එය මූලික මහජන නිකුතුව හරහා කොටස් මිල දී ගත් ආයෝජකයින් හට 166%ක පමණ ප්‍රතිලාභයක් අත්පත් කර දීමට සමත්ව ඇත.
ඊයේ (07) දිනයේ දී කොටස් වෙළෙඳපොළ ගනුදෙනු මිනිත්තු 23ක කාලයකට පමණක් සීමා වූ අතර වෙල්ත්ට්‍රස්ට් සමාගමේ රු. 7 බැගින් මූලික නිකුතුවේ දී නිකුත් කළ කොටසක් රු. 25,000ක මිලකට අක්‍රමවත් අයුරින් සිදු වූ ගනුදෙනුවක් හේතුවෙන් එලෙස දිනයේ ගනුදෙනු අත්හිටුවීමක් සිදුවිය. ඉන් අනතුරුව කොටස් වෙළෙඳපොළ පාලනාධිකාරිය තීරණයේ දිනය තුළ ඒ දක්වා සිදුකෙරුණු සියලු ගනුදෙනු අවලංගු කිරීමටයි. ඒ සඳහා කොටස් වෙළෙඳපොළ නියාමන ආයතනය වන ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂං සභාවේ ද අනුමැතිය ද හිමිව තිබුණි.
මේ අතර අද දින සියලු කොටස් මිල දර්ශකය ඒකක 233.28කින් ඉහළ ගිය අතර දිනයේ ගනුදෙනු අවසානයේ දී එය ඒකක 23,527.13ක් ලෙසින් සටහන් වූයේ පූර්ව ගනුදෙනු දිනයට සාපේක්ෂව 1%ක වර්ධනයක් සමඟිනි. S&P SL20 දර්ශකය දිනය තුළ ඒකක 100.01කින් ඉහළ ගොස් ගනුදෙනු අවසානයේ දී ඒකක 6,463.86ක් ලෙසින් සටහන් විය. එය පූර්ව දිනයට සාපේක්ෂව 1.57%ක වර්ධනයකි.

Video Story