October, 28, 2024
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශක අගය අද දිනයේ දී ඒකක 92.48 කින් ඉහළ ගොස් දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒකක 12,610.06 ක් ලෙසින් සටහන් විය.
මෙය 2024 වසරේ මේ දක්වා කාලය තුළ සියලු කොටස් මිල දර්ශකය වාර්තා කළ ඉහළම අගය වන අතර 2022 පෙබරවාරි 07 දිනෙන් පසු වාර්තා වී තිබෙන ඉහළම අගයය ද වේ.
මේ අතර S&P SL20 දර්ශකය අද දිනයේ දී ඒකක 31.60 ක වර්ධනයක් වාර්තා කළ අතර දිනය අවසානයේ දී එහි අගය දැක්වුණේ ඒකක 3,790.90 ක් ලෙසිනි.
අද දිනයේ සියලු කොටස් මිල දර්ශකයේ ඉහළ යාමට LOLC හෝල්ඩිංග්ස්, බ්රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස්, සම්පත් බැංකුව, මෙල්ස්ටාකෝප් සහ ජෝන් කීල්ස් හොල්ඩිංග්ස් යන සමාගම් ඉහළ දායකත්වයක් ලබා දී තිබුණි.
රු. බිලියන 4.42 ක ගනුදෙනු පිරිවැටුමක් අද දින වාර්තා විය.
ඒ සඳහා හැටන් නැෂනල් බැංකුවේ රු. මිලියන 832.20 ක ගිවිසා ගනු ලැබූ ගනුදෙනුවකින් වැඩිදායකත්වයක් ලැබී තිබුණි. හැටන් නැෂනල් බැංකුවේ කොටස් ගනුදෙනු හරහා අද දින වාර්තා වූ මුළු පිරිවැටුම රු. මිලියන 956 කි.
මීට අමතරව ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් (රු. මිලියන 271.99), සම්පත් බැංකුව ( රු. මිලියන 333), CIC (රු. මිලියන 420) සහ බ්රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් (රු. මිලියන 181) යන සමාගම් අද දිනයේ ඉහළ පිරිවැටුම් වාර්තා කළ සමාගම් විය.
අද දින දේශීය මිල දී ගැනීම් රු. බිලියන 4.33 ක් හා දේශීය විකිණුම් රු. බිලියන 4.32 ක් ලෙසින් වාර්තා වූ අතර විදෙස් ආයෝජකයින්ගේ සහභාගීත්වය ඉතා පහළ මට්ටමක පවතිනු නිරීක්ෂණය කළ හැකි විය. එහිදී විදේශීය මිල දී ගැනීම් රු. මිලියන 86 ක් ලෙසත් විදේශීය විකිණුම් රු. මිලියන 98 ක් ලෙසත් සටහන්ව තිබුණි.
සියලු කොටස් මිල දර්ශකයට අනුව වසරේ මේ දක්වා කාලපරිච්ඡේදය තුළ දී කොළඹ කොටස් වෙළෙඳපොළ 18.36% ක වර්ධනයක් අත්පත් කර ගැනීමට සමත්ව ඇත.
Video Story