December, 11, 2024
අද රු. බිලියන 6ක පිරිවැටුමක්
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශක අගය අද (11) දිනයේ දී ඉතිහාසයේ ඉහළම සංධිස්ථානය නැවත වරක් අලුත් කිරීමට සමත් විය. ඒ ඊයේ (10) වාර්තා වී තිබුණු ඒකක 13,774.96 සීමාව තවත් ඒකක 110.13 කින් අභිබවා යමිනි. ඒ අනුව අද දින ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 13,885.09 ක් ලෙසින් මෙතෙක් ඉතිහාසයේ ඉහළම අගය සනිටුහන් කිරීමට සමත්ව තිබුණි.
මේ අතර S&P SL20 දර්ශකය ඒකක 29.87 කින් ඉහළ ගොස් ඒකක 4,143.29 ක් ලෙසින් දිනය අවසානයේ දී වාර්තා විය.
රු. බිලියන 6 ක ගනුදෙනු පිරිවැටුමක් අද දින වාර්තා වීම විශේෂත්වයකි.
එහිදී වැඩිම දායකත්වය ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සමාගමේ කොටස් ගනුදෙනු හරහා ලැබී තිබුණු අතර එය රු. බිලියන 1.03 ක් ලෙසින් සටහන් විය. මීට අමතරව LOLC හොල්ඩිංග්ස් රු. මිලියන 400ක්, පික්මී රු. මිලියන 292ක්, ඩයලොග් ආසියාටා රු. මිලියන 255 ක් සහ වැලිබල් වන් රු. මිලියන 166ක් ලෙසින් දෛනික පිරිවැටුමට ඉහළ දායකත්වයක් ලබා දුන් සෙසු සමාගම් වේ.
සිලෝන් බෙවරේජ් හෝල්ඩිංග්ස්, LOLC හෝල්ඩිංග්ස්, සම්පත් බැංකුව, මෙල්ස්ටාකෝප් සහ ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් යන සමාගම්වල කොටස් මිල ඉහළ යාම් සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනයට අද දිනයේ දී ඉහළ දායකත්වයක් ලබා දීමට සමත්ව තිබුණි.
Video Story