කොටස් වෙළෙඳපොළේ දරුණු පසුබැස්මක්. සියලු කොටස් 105කින් පහළට

    July, 8, 2024

    අද (08) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල කැපීපනෙන පහළ යාමක් වාර්තා විය.

    එහිදී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 105.57 ක විශාල පහළ යාමක් වාර්තා කළ අතර දිනය අවසානයේ දී එහි අගය ඒකක 11,841.86 ක් ලෙසින් සටහන් වුණි.

    මේ අතර S&P SL20 දර්ශකය ද දිනය තුළ ඒකක 34.22 කින් පහළ ගොස් දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒකක 3,471.42 ක් ලෙසින් වාර්තා වී තිබිණ.

    මෙම අගයයන් පිළිවෙලින් පූර්ව ගනුදෙනු දිනයට සාපේක්ෂව 0.88%ක හා 0.98%ක කඩාවැටීම් වේ.

    ප්‍රධාන වශයෙන් සියලු කොටස් මිල දර්ශකයේ පහළ යාමට HNB, හේලීස්, සෙන්ට්‍රල් ෆිනෑන්ස්, NDB සහ ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් යන සමාගම්වල කොටස් මිල ගණන් පහළ යාම් වැඩි දායකත්වයක් ලබා දී තිබුණි.

    අද දින සමාගම් 31 ක පමණක් කොටස් මිල ගණන් ඉහළ ගොස් තිබුණු අතර සමාගම් 120 ක කොටස් මිල ගණන් පෙර දිනයට සාපේක්ෂව පහළ ගොස් තිබුණි.

    රු. මිලියන 657 ක ගනුදෙනු පිරිවැටුමක් අද දින වාර්තා විය.

    එහිදී හේමාස් හෝල්ඩිංග්ස් (රු. මිලියන 122.25) හා සම්පත් බැංකුව (රු. මිලියන 46.80) යන සමාගම්වලින් ගිවිසා ගනු ලැබූ කොටස් ගනුදෙනු (Crossings) වාර්තා වී තිබුණි.

    මීට අමතරව අද දින සාමාන්‍ය වෙළෙඳපොළ ගනුදෙනු හරහා සම්පත් බැංකුව (රු. මි. 66), වැලිබල් වන් (රු. මි. 42), LOLC ෆයිනෑන්ස් (රු. මි. 24) සමාගම් වෙතින් දෛනික පිරිවැටුමට ඉහළ දායකත්වයක් ලැබී තිබුණි.