December, 16, 2024
කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයට තවත් සුවිශේෂී දිනයක් සනිටුහන් කරමින් අද (16) දිනයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඉතිහාසයේ පළමු වරට ඒකක 14,500 සීමාව ඉක්මවා යනු ලැබීය.
අද දිනය තුළ ඒකක 295.10 ක දැවැන්ත අගයයකින් සියලු කොටස් මිල දර්ශකය ඉහළ ගිය අතර දිනයේ ගනුදෙනු අවසානයේ දී එහි අගය ඒකක 14,500.44 ක් ලෙසින් වාර්තා විය. එය පෙර දිනයට සාපේක්ෂව 2.08% ක වර්ධනයකි.
මේ අතර S&P SL20 දර්ශකය ඒකක 111.97 ක හෙවත් 2.64% ක කැපීපෙනෙන ඉහළ යාමක් අද දින වාර්තා කළ අතර දිනයේ ගනුදෙනු අවසානයේ දී එහි අගය වාර්තා වූයේ ඒකක 4,356.42 ක් ලෙසිනි.
මේ අතර රු. බිලියන 8.27 ක දැවැන්ත ගනුදෙනු පිරිවැටුමක් අද දින වාර්තා වීම ද විශේෂත්වයකි.
සෙලින්කෝ හෝල්ඩිංග්ස් පීඑල්සී හි රු. බිලියන 1.19 ක වටිනාකමකින් යුතු කොටස් අද දින හුවමාරු වී තිබීම දෛනික පිරිවැටුමට ප්‍රධාන වශයෙන් දායක වී තිබුණි. මීට අමතරෙ ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් රු. මිලියන 532 ක්, සම්පත් බැංකුව රු. මිලියන 442 ක්, හැටන් නැෂනල් බැංකුව රු. මිලියන 395 ක් සහ පෑන් ඒෂියා බැංකුව රු. මිලියන 352 ක් ලෙසින් අද දින පිරිවැටුමට ඉහළ දායකත්වයක් ලබා දීමට සමත් වූ සමාගම් අතර පෙරමුණේ වේ.