September, 25, 2024
2024 ජනාධිපතිවරණයෙන් පසු අඛණ්ඩව තෙවන දිනයටත් කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල කැපීපෙනෙන ඉහළ යාමක් අද (25) දින වාර්තා විය.
එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 325.59 ක හෙවත් 2.87%ක දැවැන්ත ඉහළ යාමක් අද දිනය තුළ වාර්තා කරන ලදී. මීට අමතරව S&P SL20 දර්ශකය ඒකක 148.54 කින් අද දිනය තුළ ඉහළ ගිය අතර එය පූර්ව දිනයට සාපේක්ෂව 4.59% ක දැවැන්ත වර්ධනයක් වේ.
ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 11,659.71 ක් ලෙසත්, S&P SL20 දර්ශක අගය ඒකක 3,383.76 ක් ලෙසත් සටහන් විය.
අද දිනයේ දී වාර්තා වූ තවත් සුවිශේෂී සිදුවීමක් නම් රු. බිලියන 3.96ක සාපේක්ෂව දැවැන්ත දෛනික පිරිවැටුමක් වාර්තා වීමයි.
එහිදී හැටන් නැෂනල් බැංකුව (රු. මිලියන 550.69), කොමර්ෂල් බැංකුව (රු. මිලියන 533.82), ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් (රු. මිලියන 260), සම්පත් බැංකුව (රු. මිලියන 314.28) සහ බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් (රු. මිලියන 116.52) දෛනික පිරිවැටුමට ඉහළ දායකත්වයක් ලබා දීමට සමත්වූ සමාගම් අතර පෙරමුණේ විය.
අද දිනය තුළ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල වර්ධනයට, බැංකු සමාගම්වල කොටස් මිල ගණන් ඉහළ යාම් විශාල වශයෙන් දායක වූ අතර ලැයිස්තුගත බැංකු සමාගම් සියල්ලකගේම පාහේ කොටස් මිල ගණන් අද දින ඉහළ ගොස් තිබීම සුවිශේෂී සිදුවීමකි.
එහිදී දිනය තුළ එක් එක් ලැයිස්තුගත බැංකු සමාගම්වල කොටස් මිල ගණන් ඉහළ ගිය ප්‍රතිශතයන් පහත පරිදි විය.
පෑන්ඒෂියා බැංකුව - 8.91%
හැටන් නැෂනල් බැංකුව - 8.73%
HDFC බැංකුව - 7.52%
කොමර්ෂල් බැංකුව - 7.45%
සෙලාන් බැංකුව - 4.44%
යූනියන් බෑංක් ඔෆ් කළම්බු - 4.35%
NDB බැංකුව - 4.32%
DFCC බැංකුව - 3.75%
සම්පත් බැංකුව - 3.20%
නේෂන්ස් ට්‍රස්ට් බැංකුව - 3.14%
සණස සංවර්ධන බැංකුව - 2.65%
අමානා බැංකුව - 1.83%
කාගිල්ස් බැංකුව - 1.35%
2024 ජනාධිපතිවරණයෙන් පසු කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ක්‍රියාත්මක වූ තෙවැනි දිනය අද (25) වන අතර ඊට පෙර පසුගිය සැපැතැම්බර් 23 වැනි සඳුදා, ඒකක 130.30 කින් හා ඊයේ (24) දින ඒකක 237.31 ක් ලෙසින් සියලු කොටස් මිල දර්ශකය ඉහළ යන ලදී.
ඒ අනුව මෙම සතියේ මුල් දින 03 තුළ දී පමණක් 6.32% ක වර්ධනයක් අත්පත් කර ගැනීමට කොළඹ කොටස් වෙළෙඳපොළ සමත්ව ඇත.
Video Story