කොටස් වෙළෙඳපොළ අදත් මන්දගාමීයි

    November, 9, 2015

    තවත් අලුත් සතියක කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අද උදෑසන 9.30 ට ආරම්භ වූ අතර සුපරුදු පරිදි අද දිනය ද අවසන් වූයේ ආයෝජකයින් හට එතරම් හිතකර නොවන මිල මට්ටම් සනිටුහන් කරමිනි. දිනය අවසානයේ දී පෙර දිනයට සාපේක්ෂව ඒකක 9.27 කින් හෙවත් 0.13% කින් සියලු කොටස් මිල දර්ශකය පහළ ගොස් තිබුණු අතර එහි අගය ඒකක 7,050.21 ක් විය. මේ අතර S&P SL20 මිල දර්ශකය ද ඒකක 2.65කින් පහළ ගොස් දිනය අවසන් වන විට ඒකක 3,821.97 ක් ලෙසින් දැක්විණි.

    සියලු කොටස් මිල දර්ශකය වෙත වැඩි බලපෑමක් කළ හැකි සමාගම් කිහිපයක් වන ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් (රු. 184.00, -1.1%), ලංකා ඔරික්ස් ලීසිං (රු. 94.70, -1%) සහ ඩිස්ටිලරීස් (රු. 275.50, -1.6%) සමාගම්වල කොටස් මිල ගණන් අද දිනය තුළ දී පහළ යාම, දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය පූර්ව දිනයට වඩා පහළ අගයයක් ගැනීමට වැඩි වශයෙන් හේතු විය.

    දෛනික පිරිවැටුම රුපියල් මිලියන 492 ක් වූ අතර පිළිවෙලින් ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් (මිලියන 136), කොමර්ෂල් බැංකුව (මිලියන 125), ඩිස්ටිලරීස් (මිලියන 28), සම්පත් බැංකුව (මිලියන 23) යන සමාගම් ඊට වැඩි දායකත්වයක් ලබා දී තිබිණි. මෙහිදී දිනය තුළ වාර්තා වූ එකම ගිවිසාගත් ගනුදෙනුව (Crossing) වන ඩිස්ටිලරීස් සමාගමේ, ඡන්දබලය හිමි සාමාන්‍ය කොටස් 100,000 ක් රු. 278 බැගින් ගනුදෙනු වීම දක්නට ලැබුණි.

    කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම් 294 ක් අතුරින්, සමාගම් 220 ක් පමණක් අද දිනයේ දී කොටස් ගනුදෙනු සඳහා දායත වී තිබිණි.