April, 7, 2025
කලකට පසු කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු මිනිත්තු 30ක කාලයක් සඳහා අද (07) පෙරවරුවේ දී අත්හිටුවනු ලැබීය.
මීට හේතු වූයේ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මිල දර්ශකයක් වන S&P SL20 දර්ශකය, පූර්ව ගනුදෙනු දිනයට සාපේක්ෂව 5%ක ප්‍රමාණයක් ඉක්මවා පහළ ගොස් තිබීමයි.
එම අවස්ථාවේ දී S&P SL20 දර්ශකය 5.30%ක ප්‍රමාණයක් පහළ ගොස් තිබුණි.
2020 අප්‍රේල් 30 දින කොළඹ කොටස් වෙළෙඳපොළ විසින් හඳුන්වා දෙනු ලැබූ නවතම ක්‍රමවේදයට අනුව S&P SL20 දර්ශකයේ කඩා වැටීමේ ප්‍රමාණය අනුව තනි දිනක් තුළ අවස්ථා 3 කදී කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අත්හිටුවනු ලබන බව නිවේදනය කර සිටියේය.
එහිදී S&P SL20 දර්ශකය 5%ක ප්‍රමාණයකින් පහළ ගිය හොත් මිනිත්තු 30ක කාලයක් සඳහා දෛනික ගනුදෙනු අත්හිටුවනු ලබන අතර ඉන් අනතුරුව ගනුදෙනු ආරම්භ වී තවත් 2.5% ක ප්‍රමාණයක් S&P SL20 දර්ශකය කඩා වැටුණහොත් තවත් මිනිත්තු 30ක කාලයකට දෛනික ගනුදෙනු අත්හිටුවන් ලබනු ඇත. ඒ අනුව දිනක් තුළ දෙවන වරට කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අත්හිටුවීමක් සිදුවනුයේ සමස්තයක් ලෙස පෙර දිනය හා සැසඳීමේ දී 7.5%ක ප්‍රමාණයකින් S&P SL20 දර්ශකය පහළ ගොස් තිබෙන අවස්ථාවකදීය.
මේ අතර අදාළ දිනය තුළ තවත් 2.5%ක ප්‍රමාණයකින්, එනම් සමස්තයක් ලෙස දිනය තුළ 10%ක ප්‍රමාණයක් ඉක්මවා S&P SL20 දර්ශකය පහළ ගිය හොත් අදාළ දිනයට කොටස් වෙළෙඳපොළ වසා දමනු ඇත.
දෛනික ගනුදෙනු
Video Story