කොටස් වෙළෙඳපොළ අද වාර්තාගත ලෙස ඉහළට

    October, 16, 2025

    ඊයේ (15) දිනයේ දී යම් පසුබෑමක් වාර්තා කළ කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල යළි පිබිදීමක් අද දිනයේ දී දක්නට ලැබුණි.

    එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 123.87 ක් වර්ධනයක් වාර්තා කරමින් දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒකක 22,416.15ක් ලෙසින් සටහන් වූයේ මෙතෙක් ඉතිහාසයේ ඉහළම අගය යළිත් වරක් අලුත් කරමිනි.

    දිනය තුළ S&P SL20 දර්ශකය ඒකක 27.82කින් ඉහළ ගොස් ඒකක 6,226.64ක් ලෙසින් සටහන් විය.

    අද දින රු. බිලියන 8.87ක ඉහළ ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වූ අතර ප්‍රධාන වශයෙන් හේමාස් හෝල්ඩිංග්ස් හි රු. බිලියන 1.19ක් හා DFCC බැංකුවේ රු. මිලියන 862ක් ලෙසින් සටහන් වූ ගිවිසා ගනු ලැබූ ගනුදෙනු ඊට ඉහළ දායකත්වයක් ලබා දෙන්නට සමත්ව තිබුණි. මීම අමතරව හේමාස් හෝල්ඩිංග්ස් හි සාමාන්‍ය වෙළෙඳපොළ ගනුදෙනු හරහා ද රු. මිලියන 469ක පිරිවැටුමක් වාර්තා වී තිබුණි.

    මේ අතර පසුගිය අහරුවාදා (14) කොළඹ කොටස් වෙළෙඳපොළ සමස්ත වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය, ඉතිහාසයේ පළමු වතාවට රු. ට්‍රිලියන 8 සීමාව ඉක්මවා ගිය අතර ඊයේ දිනයේ කොටස් වෙළෙඳපොළ පහළ යාමත් සමග එය නැවත වරක් ට්‍රිලියන 8 මට්ටමෙන් මෙපිටට පැමිණීමක් වාර්තා විය.

    කෙසේවෙතත් අද දිනයේ දී මෙතෙක් ඉතිහාසයේ වාර්තා වූ ඉහළම වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණ අගය වාර්තා කරමින්, කොළඹ කොටස් වෙළෙඳපොළ සමස්ත වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණ වටිනාකම රු. ට්‍රිලියන 8.02ක් දක්වා ඉහළ ගොස් තිබීම සුවිශේෂී සිදුවීමකි.

    අද දින සියලු කොටස් මිල දර්ශකයේ හැසිරීමට සමාගම් 124කින් ධනාත්මක දායකත්වයක් ලැබී තිබුණු අතර හේමාස් හෝල්ඩිංග්ස්, සම්පත් බැංකුව, විදුල්ලංකා, රිචඩ් පීරිස් ඇන්ඩ් කම්පැනි සහ ඩිමෝ යන සමාගම් ඒ අතුරින් කැපීපෙනුනි.