කොටස් වෙළෙඳපොළ අද වැටි වැටී නැගිටියි. පිරිවැටුම රු. බිලියන 7 1/2 ඉක්මවයි

    August, 12, 2025

    කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ක්‍රියාකාරීත්වය පිළිබඳ අවධානය යොමු කිරීමේදී දිනයේ මුල් භාගය තුළ සියලු කොටස් මිල දර්ශකයේ පහළ යාමක් වාර්තා වුවද, දිනයේ අවසාන ගනුදෙනු පැයේ දී එහි කැපීපෙනෙන ඉහළ යාමක් දක්නට ලැබුණි.

    ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 49.77කින් ඉහළ ගොස් ඒකක 19,972.79 ක් ලෙසත්, S&P SL20 දර්ශක අගය ඒකක 1.65කින් ඉහළ ගොස් ඒකක 5,826.56 ක් ලෙසත් සටහන් විය.

    අද දින රු. බිලියන 7.59ක, පසුගිය දින කිහිපයට සාපේක්ෂව ඉහළ පිරිවැටුමක් වාර්තා වී තිබීම විශේෂත්වයකි.

    එහිදී ප්‍රධාන වශයෙන් NDB බැංකු සමාගමේ රු. බිලියන 4.39ක වටිනාකමකින් යුතු ගිවිසාගනු ලැබූ කොටස් ගනුදෙනුවක් ඉහළ දායකත්වයක් ලබාදීමට සමත්ව තිබුණි.

    ප්‍රධාන වශයෙන් NDB, ඩයලොග් ආසියාටා, කාර්සන්ස් කම්බර්බැච්, LOLC හෝල්ඩිංග්ස් සහ සම්පත් බැංකුව ඇතුළු සමාගම් 109 ක කොටස් මිල ඉහළ යාම් සියලු කොටස් මිල දර්ශකයේ හැසිරීමට ධනාත්මක දායකත්වයක් ලබා දීමට සමත් වූ අතර ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සහ හේලීස් යන සමාගම්වල කොටස් මිල පහළ යාම් ඊට සෘණාත්මකව බලපෑවේය.