කොටස් වෙළෙඳපොළ ඓතිහාසික කඩඉමකට පැමිණෙද්දී අද රු. බිලියන 10.5ක වාර්තාගත පිරිවැටුමක්

    January, 23, 2026

    කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක අද (23) දින නැවත වරක් ඉතිහාසයේ ඉහළම අගයයන් වාර්තා කිරීමට සමත් වූ අතර එහිදී කැපීපෙනෙන කාරණය වූයේ දිනයේ ගනුදෙනු අතරවාරයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 24,000 සීමාව කරා පැමිණීමයි. කෙසේවෙතත් දිනය නිමාවේ දී එහි අගය ඒකක 23,956.51 ක් ලෙසින් සටහන් වූ අතර එය පෙර දිනයට සාපේක්ෂව ඒකක 142.74ක ඉහළ යාමක් වේ.

    මේ අතර S&P SL20 දර්ශකය ඒකක 31.65ක ඉහළ යාමක් වාර්තා කරමින් ගනුදෙනු අවසන් වන විට ඒකක 6,649.50ක් දක්වා ඉහළ ගියේය.

    මේ අතර අද දින රු. බිලියන 10.50ක දැවැන්ත ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වීම විශේෂත්වයකි. එහිදී කළම්බු කොඩ්යාර්ඩ් සමාගමේ රු. බිලියන 2.12 ක හා   LOLC හෝල්ඩිංග්ස් හි රු. බිලියන 1.24ක වටිනාකමකින් යුතු කොටස් හුවමාරු වී තිබුණි.

    මිල දර්ශකවල ඉහළ යාමට ප්‍රධාන වශයෙන් LOLC හෝල්ඩිංග්ස්, කළම්බු ඩොක්යාර්ඩ්, කොමර්ෂල් බැංකුව, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් හා මෙල්ස්ටාකෝප් යන සමාගම්වල කොටස් මිල ඉහළ යාම් වැඩි දායකත්වයක් ලබා දෙන ලදී.