March, 11, 2026
නව ශාඛාවක් විවෘත කරමින් කොළඹ කොටස් හුවමාරුව කෑගල්ල ප්‍රදේශයට ප්‍රාග්ධන වෙළෙඳපොළ අවස්ථා උදා කරයි
කොළඹ කොටස් හුවමාරුවේ ශාඛා ජාලය තවත් ශක්තිමත් කරමින් එහි කෑගල්ල ශාඛාව නිල වශයෙන් විවෘත කරන ලදී. ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඩී.බී.පී.එච්. දිසාබණ්ඩාර, කොළඹ කොටස් හුවමාරුවේ අධ්‍යක්ෂ කෝසල ගමගේ සහ ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම ශාඛාව විවෘත විය. රාජ්‍ය සහ පෞද්ගලික අංශ නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද මෙම අවස්ථාවට එක් වූහ.
මෙම විවෘත කිරීමත් සමඟ මාතර, මහනුවර, කුරුණෑගල, මීගමුව, යාපනය, මඩකලපුව, අනුරාධපුර, රත්නපුර, පානදුර, බණ්ඩාරවෙල සහ කෑගල්ල යන නගර කේන්ද්‍ර කරගනිමින් ශ්‍රී ලංකාවේ සියලුම පළාත් නවයම ආවරණය වන පරිදි සිය ශාඛා ජාලය තහවුරු කිරීමට කොළඹ කොටස් හුවමාරුව සමත්ව ඇත.
කොළඹ කොටස් හුවමාරුවේ සෙසු ශාඛාවන් මෙන්ම, මෙම කෑගල්ල ශාඛාව මගින්ද CDS ගිණුම් විවෘත කිරීම, කොටස් තැරැව්කාර සමාගම් වෙත ප්‍රවේශය ලබාදීම, ආයෝජන අධ්‍යාපනික වැඩමුළු පැවැත්වීම සහ කොටස් වෙළෙඳපොළ පිළිබඳ මෙන්ම ආයෝජන ගැටලු සඳහා අවශ්‍ය පුද්ගලික මගපෙන්වීම් ලබාදීම ඇතුළු පුළුල් සේවාවන් රැසක් සලසා දෙනු ලබයි.

මෙම අවස්ථාව අමතමින් කොළඹ කොටස් හුවමාරුවේ ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක මහතා මෙසේ ප්‍රකාශ කළේය: “කෑගල්ල කියන්නේ කෘෂිකර්මාන්තයෙන් වගේම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්වයෙන් බහුල ප්‍රදේශයක්. අප අද මේ කෑගල්ල ශාඛාව ඔබ වෙත ගෙන ආවේ, ඔබේ ධනය වැඩිකර ගැනීමට ඇති වඩාත් කාර්යක්ෂම සහ නීත්‍යානුකූල මාර්ගය පෙන්වා දීමටයි.”
විවෘත කිරීමේ උත්සවය අමතමින් අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඩී.බී.පී.එච්. දිසාබණ්ඩාර මහතා ප්‍රකාශ කළේ, දිවයින පුරා ප්‍රාග්ධන වෙළෙඳපොළ ප්‍රවේශය පුළුල් කිරීම සඳහා කොළඹ කොටස් හුවමාරුව මගින් ස්ථාපිත කළ 11 වන ශාඛාව මෙය බවයි.
ආයෝජක දැනුවත්භාවය සහ ප්‍රවේශ වීමේ පහසුව පිළිබඳ වැදගත්කම අවධාරණය කරමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ, කොළඹ කොටස් හුවමාරුවේ භෞතික ව්‍යාප්තිය මගින් ප්‍රාග්ධන වෙළෙඳපොළ සඳහා මහජන සහභාගීත්වය තවදුරටත් ඉහළ යන බවයි. කොටස් තැරැව්කාර සමාගම් හයකට පමණ පහසුකම් සැලසිය හැකි මෙම නව කෑගල්ල ශාඛාව හරහා ආයෝජකයින් සමඟ සමීපව කටයුතු කිරීමටත්, විශේෂයෙන්ම නව ආයෝජකයින්ට අවශ්‍ය මගපෙන්වීම් ලබාදීමටත් අවස්ථාව උදා වේ.
එමෙන්ම, ඉදිරි වසර තුන ඇතුළත ලැයිස්තුගත සමාගම් සංඛ්‍යාව 289 සිට 500 දක්වා ඉහළ නැංවීමේ අවශ්‍යතාව ඔහු පෙන්වා දුන් අතර, කෑගල්ල ප්‍රදේශයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට කොළඹ කොටස් හුවමාරුව හරහා ප්‍රාග්ධනය රැස්කර ගැනීමට විශාල අවස්ථාවක් පවතින බවට ද අවධාරණය කළේය. මෙම නව ශාඛාව ප්‍රාදේශීය ව්‍යාපාරික ප්‍රජාවට සහ ආයෝජකයින්ට සහාය වීම සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ඇති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
Video Story