කොටස් වෙළෙඳපොළ කියන්නේ සූදුවක් – බන්දුල ගුණවර්ධන කියයි

    November, 17, 2015

    කොටස් වෙළෙඳපොළ යනු සූදුවක් බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

    පසුගියදා අග්‍රාමාත්‍යවරයා, සිය මධ්‍ය කාලීන ආර්ථික දැක්ම ඉදිරිපත් කරමින් කළ යෝජනාවලට අනුව, සේවක ආර්ථසාධක අරමුදල (EPF) හා සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල (ETF) එක්කරමින්, ජාතික විශ්‍රාමික පාරිතෝෂිත අරමුදල නමින් තනි නව අරමුදලක් පිහිටුවීමට වූ යෝජනාව විචේනයට ලක්කරමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.

    “ඉතිහාසයේ මෙම අරමුදලේ මුදල් ආයෝජනය කළේ භාණ්ඩාගාර බිල්පත්, භාණ්ඩාගාර බැඳුම්කර, භාණ්ඩාගාර සුරැකුම්පත් හා වෙනත් ස්තරම් සුරැකුම්පත්වල. ඒ නිසා ඒ මුදලත්, පොළියත් ගිවිස ගත් ආකාරයට ලැබෙන බව 100% ක් විශ්වාසයි. කොටස් වෙළෙඳපොළට වුවමනාවක් ඇති වෙලා තිබෙනවා මේ විශාල අරමුදල සම්පූර්ණ වශයෙන් යොදාගෙන විශාල අවදානමක් තියෙන කොටස්වල ආයෝජනය කරන්න. ඒක තමයි මේකේ යටි අරමුණ“, යැයි මන්ත්‍රීවරයා කියාසිටියේය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා “තමුන්නාන්සේලා හැමෝම දන්නවා, ලෝකේ හැමතැනම කොටස් වෙළෙඳපොළ කියන්නේ සූදුවක්. ඒක වැඩිවෙනවා. අඩුවෙනවා. කඩාගෙන වැටෙනවා. සමහර වෙලාවට සම්පූර්ණයෙන් විනාශ වෙනවා“, යැයි පැවසීය.