December, 17, 2025
බ්ලූ ඕෂන් සිකියුරිටීස් නම් සමාගමක් විසින්, කොටස් වෙළෙඳපොළ ආයෝජනයන් සඳහා පහසුකම් සපයන මුවාවෙන් වට්ස්ඇප් සමූහ හරහා සාමාජිකයින් එක් කර ගනිමින් සිදුකර ගෙන යනු ලබන මහාපරිමාණයෙන් මුදල් වංචා කිරීමේ ජාවාරමක් පිළිබඳ හෙලිදරව්වක් ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂං සභාව විසින් අද (17) සිදුකළේය.
ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂං සභාවේ සභාපති මහාචාර්ය එච්. දිසාබණ්ඩාර සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තුෂාර ජයරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද පැවති මාධ්‍ය හමුවක දී මේ බව අනාවරණය කෙරිණි.
කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම්වල ආයෝජනය සඳහා නිර්දේශ ඉදිරිපත් කරමින් ජංගම දුරකතන යෙදවුමක් හරහා ආයෝජනය කිරීමට මහජනතාවට ආරාධනා කිරීමක් මෙහිදී සිදුකෙරේ. කෙසේවෙතත් මේ වන විට අනාවරණය වී ඇත්තේ එම ජංගම දුරකතන යෙදවුම සත්‍ය එකක් නොව ව්‍යාජ එකක් බවයි.
මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළ ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂං සභාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තුෂාර ජයරත්න මහතා කියා සිටියේ, කොටස් වෙළෙඳපොළ ගනුදෙනු සිදුකළ හැකි යැයි කියනු ලබන ව්‍යාජ ජංගම දුරකතන යෙදවුමක් හරහා මෙම වංචාව සිදුකෙරන බවයි.
“බ්ලූ ඕෂන් සිකියුරිටීස් නමින් සමාගමක් තිබෙනවා. ඔවුන් ෆේස්බුක් දැන්වීම් පළ කරනවා, අපේ ආවේක්ෂණ අංශය මේ පිළිබඳව මුලින්ම දැනුවත් වුණා. ඔවුන් ලංකාවේ සමාගම්වල කොටස් සම්බන්ධයෙන් නිර්දේශ නිකුත් කරනවා. ඔවුන් මේ බව පවසා ජනතාවට ආරාධනා කරනවා ඔවුන්ගේ වට්සඇප් සමූහයට එක්වන ලෙස. ඔවුන් මේ දැන්වීම් සඳහා විවිධ ඡායාරූප භාවිතා කරනවා. ඔවුන් කොළඹ කොටස් වෙළෙඳපොළේ හිටපු සභාපතිවරයාගේ මුහුණත් ඒ සඳහා යොදා ගෙන තිබෙනවා. ඔවුන් කොටස් වෙළෙඳපොළේ ලෝගෝවත් ඒ සඳහා භාවිත කර කරනවා.“
එසේ සමාජ මාධ්‍ය හරහා පළ කරන ලද දැන්වීම් කිහිපයක් පහතින් වේ.



“මෑතකදී ඔවුන් මොබයිල් ඇප් එකක් හඳුන්වා දි තිබෙනවා. BOMate කියලා ඒක හඳුන්වන්නේ. ඔවුන් කියනවා මේ ඇප් එක හරහා කොටස් වෙළෙඳපොළ ගනුදෙනු සිදුකරන්න පුළුවන් කියලා. ඔවුන් මුදල් තැන්පත් කරන්න බැංකු ගිණුම් අංක දෙකක් දෙනවා. මේ යෙදවුම හරහා එහෙම ගනුදෙනු කරන්න බැහැ. මේකෙන් ඇත්ත ගනුදෙනු සිදුවන්නේ නැහැ. ඇප් එකෙන් ගනුදෙනු සිදුවෙනවා. නමුත් මේක අපේ පද්ධතියට සම්බන්ධයක් නැහැ. මෙය දැවැන්ත පරිමාණ වංචාවක්. මේ ඇප් එක හරහා ගනුදෙනු කළොත් සිදුවන්නේ සල්ලි නාස්තියක් විතරයි.“

මේ අතර ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂං සභාවේ සභාපති මහාචාර්ය එච්. දිසාබණ්ඩාර මහතා මෙහිදී පැවසුවේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට අදාළ පරීක්ෂණයක මේ වන විට නිරත බවයි. මෙම සමාගම සුරැකුම්පත් කොමිසමේ බලපත්‍රලාභී සමාගමක් බවට හැඟවෙන අයුරින් කටයුතු කිරීම හේතුවෙන් මේ අවස්ථාවේ ඊට එරෙහිව ක්‍රියාකිරීමට සුරැකුම්පත් කොමිසම පියවර ගත් බව ඔහු මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.
Video Story