කොටස් වෙළෙඳපොළ පරීක්ෂණ කඩිනමින් අවසන් කළ යුතුයි – කොළඹ කොටස් තැරැව්කරුවන්ගේ සංගමයේ සභාපති කියයි

    January, 8, 2016

    කොටස් වෙළෙඳපොළේ සිදුවූයේ යැයි කියන අක්‍රමිකතා සම්බන්ධ පරීක්ෂණ කඩිනමින් අවසන් කළ යුතු බවත්, වැරදිකරුවන් හඳුනාගෙන තිබෙනවා නම් ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගත යුතු බවත් කොළඹ කොටස් තැරැව්කරුවන්ගේ සංගමයේ සභාපති, කැන්ඩර් සමූහ ප්‍රධාන විධායක නිලධාරී/ අධ්‍යක්ෂ රවී අබේසූරිය මහතා අද දෙරණ Biz වෙත පැවසීය. මෙම පරීක්ෂණවල අවසානයක් දැකීමට තමන් කැමති බවත්, දැන් ඉදිරියට යාමට කාලය එළඹ ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේය.

    මෙහිදී වත්මන් කොටස් වෙළෙඳපොළ ක්‍රියාකාරීත්වය පිළිබඳ අප කළ විමසීමක දී රවී අබේසූරිය මහතා මෙසේ සිය අදහස් දැක්වීය. “කොටස් වෙළෙඳපොළ පහළ යාමට ප්‍රධානතම හේතුව ලෙසින් චීනය ඇතුළු ප්‍රත්‍යන්ත වෙළෙඳපොළවල (frontier markets) කඩාවැටීම දක්වන්න පුළුවන්. මේ වන විට චීනයේ කොටස් වෙළෙඳපොළ විශාල වශයෙන් පහළ ගොස් තිබෙනවා. මේ තත්ත්වය තුළ විදේශීය ආයෝජකයින් මෙවැනි තරමක් අවදානම ඉහළ වෙළෙඳපොළවලින් සිය ආයෝජන ඉවත් කර ගැනීමට කටයුතු කරනු ලබනවා. ලංකාව අයිති වෙන්නේත් මෙයාකාරයෙන් තරමක් ඉහළ අවදානමක් තිබෙන වෙළෙඳපොළ ගණයටයි. ඔවුන් සිය ආයෝජන රැගෙන යන්නේ ඇමරිකාව වැනි සංවර්ධිත වෙළෙඳපොළවල් වෙතයි. සාපේක්ෂව වර්තමානයේ එම වෙළෙඳපොළවල අවදානම අඩුයි. මේ ප්‍රවණතාව නිසා විදේශ ආයෝජන ඒම අඩු වී තිබෙනවා.“

    “ඒ වගේම පසුගිය වසරේ දී අපගේ රුපියල 8.8% කින් අවප්‍රමාණය වී තිබෙනවා. මේ තත්ත්වය නිසා ලංකාව තුළ රුපියල්වලින් ආයෝජනය කළ විට පසුගිය වසර අවසානයේ දී ඒ සඳහා 8.8% ක විනිමය අලාභයක් භුක්ති විඳින්න ඔවුන්ට සිදුවෙලා. මේ තත්ත්වය තව කොච්චර කල් තිබේද කියන්න අපි දන්නේ නැහැ. අප සමාගමත් මැදපෙරදිග සමාගමකට අයිති සමාගමක්. අපි නිරන්තරයෙන් බලන්නේ එම රටවලින් මුදල් ගේන්න. නමුත් ඔවුන් නිතරම විමසිලිමත් වන්නේ අපේ රුපියල ගැන. ඔවුන් මොන ජාතියේ මුදල් ගෙනල්ලා මෙහෙ ආයෝජනය කළත්, අවසානයේ එය රුපියල්වලට පරිවර්තනය වෙනවා. රුපියල බාල්දු වෙනවා නම් ඒක ඔවුන්ගේ ආයෝජනයට ප්‍රශ්නයක්.“

    “අනෙක් හේතුව රටේ දේශලපාලනික පැත්තෙන් තවමත් නිවැරදි දැක්මක් නැහැ. අයවැයෙන් හෝ අගමැතිතුමාගේ ආර්ථික දැක්මෙන් මේ බව නිවැරදිව පැහැදිලි වුණේ නැහැ. අප බලාපොරොත්තු වෙනවා අගමැතිතුමා හමුවෙලා මේ තත්ත්වය ගැන සාකච්ඡා කරන්න. ප්‍රතිපත්ති රාමුවේ ස්ථාවර බවක් එනතුරු අපි බලාගෙන ඉන්නවා.“

    මේ අතර ඊයේ (07) ආරම්භ වූ ශ්‍රී ලංකා ආර්ථික සමුළුව 2016 පිළිබඳ අදහස් දක්වමින් කොළඹ කොටස් තැරැව්කරුව්නගේ සංගමයේ සභාපතිවරයා මෙසේ පැවසීය. “මේ වෙලාවේ ලංකාවට වැඩියෙන්ම අවශ්‍ය සෘජු විදේශ ආයෝජන (FDI). ජෝජ් සොරෝස් කියපු අදහස් ක්‍රියාත්මක වෙනවා නම් අපි කැමතියි. ඒ වගේ ලොකු ආයෝජකයෝ ලංකාවට පැමිණීම අපි බලාපොරොත්තු වෙනවා. මෙතන දී සිදුවූ ලොකුම දේ ලංකාව, ලෝකය වෙත නිරාවරණය වීම. ඔහු කරපු ප්‍රකාශ ජාත්‍යන්තරයට ගියේ ශ්‍රී ලංකාවේ කොළඹ සිට කළ ප්‍රකාශ විදියට. මේ නිසා ලොව පුරා ලංකාවේ නම ප්‍රචාරය වෙන්න පටන් ගත්තා. ඔහු ලංකාවට පැමිණීම ඉතා වටිනා දෙයක්.“

    මෙහිදී අවසාන වශයෙන් අදහස් දක්වමින් රවී අබේසූරිය මහතා පැවසුවේ, කොටස් වෙළෙඳපොළ පිළිබඳ මෙරට මහජනතාවගේ විශ්වාසය ඇති කිරීම ඉතා වැදගත් බවයි. එසේ නොමැතිව විදෙස් ආයෝජකයින්ට ආරාධනා කිරීමෙන් ඵලක් නොවන බවත් විශ්වාසය ඇති කිරීම සඳහා අවශ්‍ය කටයුතු තවදුරටත් කොළඹ කොටස් වෙළෙඳපොළ සහ සුරැකුම්පත් හා විනිමය කොමිසම විසින් සිදුකළ යුතු බවත් ඒ මහතා වැඩිදුරටත් මෙහිදී කියා සිටියේය.