කොටස් වෙළෙඳපොළ පසුබසී. පිරිවැටුමත් අඩුවෙයි

    February, 10, 2026

    අද (10) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකයේ ඒකක 103.17ක පහළ යාමක් වාර්තා විය. ඒ අනුව දිනයේ දී ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒ්කක 23,651.09ක් ලෙසින් සටහන් වුණි.

    කෙසේවෙතත් ඊට සාපේක්ෂව S&P SL20 දර්ශකයේ සුළු පහළ යාමක් පමණක් දිනය තුළ දක්නට ලැබුණු අතර එහිදී ඒකක 3.27කින් S&P SL20 දර්ශකය පහළ ගොස් දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒකක 6,605.41ක් ලෙසින් සටහන් විය.

    මේ අතර පසුගිය දින කිහිපය හා සැසඳීමේ දී අද දින ගනුදෙනු පිරිවැටුම පහළ මට්ටමක පැවතුණ අතර රු. බිලියන 3.54ක් ලෙසින් එය වාර්තා වේ.

    අද දින දේශීය මිල දී ගැනීම් රු. බිලියන 3.51ක් හා දේශීය විකිණුම් රු. බිලියන 3.04ක් ලෙසින් වාර්තා වූ අතර විදේශීය මිල දී ගැනීම් රු. මිලියන 34ක් තරම් ඉතා පහළ අගයක් විය. විදේශීය විකිණුම් දිනය තුළ රු. මිලියන 500ක් ලෙසින් සටහන්ව ඇත.