කොටස් වෙළෙඳපොළ පසුබසී. සියලු කොටස් දහතුන්දහසෙන් පහළට

    November, 21, 2024

    කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල කැපීපෙනෙන පහළ යාමක් අද දිනයේ වාර්තා විය.

    එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 131.45 කින් පහළ ගිය අතර දිනයේ ගනුදෙනු අවසානයේ දී එය ඒකක 13,000 සීමාවෙන් මෙපිටට පැමිණ තිබෙනු දැකගන්නට ලැබුණි. එහි අගය වාර්තා වූයේ ඒකක 12,982.10 ක් ලෙසිනි.

    S&P SL20 දර්ශකය අද දිනය තුළ දී ඒකක 58.36කින් පහළ ගොස් ඒකක 3,860.92 ක් ලෙසින් සටහන් වූ අතර එය පෙර දිනයට සාපේක්ෂව 1.49% ක සැලකිය යුතු පහළ යාමකි.

    ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස්, කොමර්ෂල් බැංකුව, සම්පත් බැංකුව, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් සහ LOLC හෝල්ඩිංග්ස් යන සමාගම්වල කොටස් මිල පහළ යාම් සියලු කොටස් මිල දර්ශකයේ කඩා වැටීමට බෙහෙවින් බලපා තිබුණි.

    අද දින රු. බිලියන 7.04 ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වීම විශේෂත්වයකි.

    DFCC බැංකු සමාගමේ රු. බිලියන 3.59 ක ගිවිසාගනු ලැබූ කොටස් හුවමාරුවක් ඊට ප්‍රධාන වශයෙන් දායක වී තිබුණි. එහිදී කොටස් මිලියන 42.35 ක් එකක් රු. 85.00 බැගින් ගනුදෙනු විය.

    මීට අමතර සිටිසන් ඩිවලොප්මන්ට් බෑන්ක් පීඑල්සී හි රු. මිලියන 496 ක ගිවිසාගනු ලැබූ ගනුදෙනුවක් ද වාර්තා වී තිබිණ.

    ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් රු. මිලියන 591, සම්පත් බැංකුව රු. මිලියන 366 ක් හා කොමර්ෂල් බැංකුව රු. මිලියන 220 ක් ලෙසින් දෛනික දෛනික පිරිවැටුමට ඉහළ දායකත්වයක් ලබා දුන් සෙසු සමාගම් අතර පෙරමුණේ වේ.