කොටස් වෙළෙඳපොළ මන්දගාමී වෙයි

    November, 18, 2024

    අද (18) පෙරවරු කාලයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කළ ද, දිනයේ පසුභාගය වන විට එම තත්ත්වයේ මන්දගාමී වීමක් දක්නට ලැබුණි.

    දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 32.21 කින් ඉහළ ගොස් ඒකක 13,231.01 ක් ලෙසින් සටහන වූ අතර පෙරවරුවේ දී මෙම අගය එක් අවස්ථාවක දී ඒකක 13,438 ක් දක්වා ද ඉහළ ගොස් තිබුණි.

    S&P SL20 දර්ශකයේ වර්ධනය අද දිනය තුළ ඒකක 3.06කට පමණක් සීමාවී තිබුණු අතර එහි අගය ගනුදෙනු අවසානයේ දී වාර්තා වූයේ ඒකක 3,980.23 ක් ලෙසිනි.

    රු. බිලියන 5.55 ක ගනුදෙනු පිරිවැටුමක් අද දින වාර්තා විය. එහිදී රු. බිලියන 5.32 ක දේශීය මිල දී ගැනීම් සහ රු. බිලියන 4.56ක දේශීය විකුණුම් වාර්තා වී තිබුණු අතර විදෙස් විකිණුම්වල ඉහළ යාමක් දිනය තුළ වාර්තා වීම විශේෂත්වයකි.

    එහිදී විදේශීය මිල දී ගැනීම් රු. මිලියන 231 ක් ලෙස වාර්තා වෙද්දී රු. මිලියන 992 ක විදේශීය විකිණුම් වාර්තා වී තිබුණි.

    ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් රු. මිලියන 436 ක්, සම්පත් බැංකුව රු. මිලියන 327ක්, ඇම්බියන් කැපිටල් රු. මිලියන 188 ක් සහ කොමර්ෂල් බැංකුව රු. මිලියන 167 ක් ලෙසින් අද දින ගිවිසා ගනු ලැබූ ගනුදෙනු වාර්තා වූ සමාගම් වේ.

    මීට අමතරව ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් රු. මිලියන 398ක්, සම්පත් බැංකුව රු. මිලියන 312ක්, HNB රු. මිලියන 276ක්, කොමර්ෂල් බැංකුව රු. මිලියන 248 ක් සහ බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් රු. මිලියන 179 ක් ලෙසින් දිනයේ සාමාන්‍ය ගනුදෙනු හරහා දෛනික පිරිවැටුමට ඉහළ දායකත්වයක් ලබා දීමට සමත්ව තිබුණි.

    දිනය තුළ සියලු කොටස් මිල දර්ශකයේ හැසිරීමට කොමර්ෂල් බැංකුව, HNB, එයිට්කන් ස්පෙන්ස්, සම්පත් බැංකුව සහ මෙල්ස්ටාකෝප් යන සමාගම්වලින් ඉහළ ධනාත්මක දායකත්වයක් ලැබී තිබුණු අතර ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සමාගමේ කොටස් මිල පෙර දිනයට සාපේක්ෂව පහළ ගොස් තිබීම සියලු කොටස් මිල දර්ශකය මන්දගාමී වීමට ප්‍රධාන වශයෙන් හේතු වී තිබෙන බව නිරීක්ෂණය කළ හැකිය.