කොටස් වෙළෙඳපොළ මාස 18 කින් ආපස්සට පැමිණෙයි

    January, 12, 2016

    අද දින කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අවසන් වූයේ සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 6,534.35 ක් ලෙසිනි. මෙය ඒකක 115.97 ක හෙවත් 1.74% ක පහළ යාමකි. 2015 අගෝස්තු 24 වනදායින් පසු ඒකක 100 ක් ඉක්මවූ අගයකින් සියලු කොටස් මිල දර්ශකය පහළ ගිය පළමු අවස්ථාව මෙයයි. එසේම 2014 ජූලි 08 වනදායින් පසු ඒකක 6,550 සීමාවෙන් මෙපිටට, සියලු කොටස් මිල දර්ශකය පැමිණි පළමු අවස්ථාව වන්නේ ද මෙයයි.

    දිනය තුළ වාර්තා වූ පිරිවැටුම රු. මිලියන 998 කි. එහිදී කොමර්ෂල් බංකුවේ කොටස් 963,000 ක් රු. 138.00 බැගින්, කාගිල්ස් සිලෝන් හි කොටස් 422,400 ක් රු. 171.80 බැගින් හා හැටන් නැෂනල් බැංකුවේ කොටස් 176,264 ක් රු. 201.00 බැගින් ගනුදෙනු වීම දිනය තුළ සිදුවූ ගිවිසාගත් ගනුදෙනු ලෙසින් පිරිවැටුමට ඉහළ දායකත්වයක් ලබා දීමට සමත්විය.

    කෙසේ වෙතත් කොමර්ෂල් බැංකුව, සම්පත් බැංකුව, ජාතික සංවර්ධන බැංකුව, ඩීඑෆ්සීසී බැංකුව, නේෂන්ස් ට්‍රස්ට් බැංකුව හා සෙලාන් බැංකුව යන බැංකු සමාගම් හි කොටස් මිල ගණන් ගෙවීගිය සති 52 පුරාවට ගනුදෙනු වූ අවම මිල ගණන් කරා අද දිනයේ දී පැමිණීම සියලු කොටස් මිල දර්ශකයේ පසුබැසීම කෙරෙහි දැඩිලෙස බලපාන ලදී.

    මේ අතර අද දිනයේ දී සිය කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ආරම්භ කරන ලද පීපල්ස් ඉන්ෂුවරන්ස් සමාගමේ කොටසක මිල නිකුතු මිලට වඩා පහළ අගයකින් අවසන් වරට ගනුදෙනු වනු දක්නට ලැබිණි. මූලික කොටස් නිකුතුවේ දී රු. 15.00 බැගින් මහජනයා වෙත ඉදිරිපත් කෙරුණු පීපල්ස් ඉන්ෂුවරන්ස් කොටස් මිල ආරම්භයේ දීම රු. 15.60 දක්වා ඉහළ නැංග ද ගනුදෙනු අතරවාරයේ දී රු. 14.70 දක්වා පහළ බසිනු දක්නට විය. කෙසේ වෙතත් රු. 14.90 එහි අවසාන ගනුදෙනු වශයෙන් සටහන්ව තිබිණි.

    මේ අතර S&P SL20 දර්ශකය අද දිනය තුළ දී ඒකක 71 කින් පහළ ගොස් ඒකක 3,393.04 ක් ලෙසින් වර්තා වූ අතර එය පෙර දිනයට සාපේක්ෂව 2.05% ක පහළ යාමකි.