කොටස් වෙළෙඳපොළ වාර්තා අලුත් කරමින් ASPI සහ S&P SL20 ඉතිහාසගත ලෙස ඉහළට

    January, 21, 2026

    කොළඹ කොටස් වෙළෙඳපොළ වාර්තා නැවත අලුත් කරමින් ප්‍රධාන මිල දර්ශකවල කැපීපෙනෙන වර්ධනයක් අද (21) දින වාර්තා විය. එහිදී සියලු කොටස් මිල දර්ශකය හා S&P SL20 දර්ශකය ඉතිහාසයේ ඉහළම මට්ටම්වලට පැමිණීමට සමත්වීම විශේෂත්වයකි.

    දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 182.58කින් ඉහළ ගොස් ඒකක 23,806.32 ක් ලෙසින් සටහන් වූ අතර දෛනික ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 23,800 සීමාව ගිය පළමු අවස්ථාව මෙය වේ.

    මේ අතර  S&P SL20 දර්ශකය ඒකක 74.52කින් ඉහළ ගොස් ඒකක 6,619.32ක් ලෙසින් දිනය අවසානයේ දී සටහන් විය.

    රු. බිලියන 9.81ක වාර්තාගත ගනුදෙනු පිරිවැටුමක් දිනය තුළ වාර්තා විය. දෛනික පිරිවැටුමට ඉහළම දායකත්වය කළම්බු ඩොක්යාර්ඩ් සමාගමේ කොටස් ගනුදෙනු හරහා ලැබී තිබුණු අතර රු. පිලියන 2.65ක වටිනාකමකින් යුතු කොටස් එහිදී හුවමාරු වී තිබුණි. මේ අතර HNB බැංකු සමාගමේ කොටස් ගනුදෙනුවලින් රු. බිලියනය ඉක්මවූ පිරිවැටුමක් වාර්තා වූ අතර හේලීස් සමාගමේ කොටස් ගනුදෙනු හරහා රු. මිලියන 680ක පිරිවැටුමක් දිනය තුළ වාර්තා විය.

    හේලීස්, කළම්බු ඩොක්යාර්ඩ්, සම්පත් බැංකුව, වැලිබල් වන් සහ ශ්‍රී ලංකා ටෙලිකොම් යන සමාගම්වල කොටස් මිල ඉහළ යාම් සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනයට දිනය තුළ ඉහළ දායකත්වයක් ලබා දෙන ලදී.