November, 6, 2025
කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ, සියලු කොටස් මිල දර්ශකයේ වාර්තා වුණු ඉහළම අගයේ වාර්තාව අද (06) නැවත වතාවක් අලුත් කරමින් දිනයේ ගනුදෙනු අවසාන වන විට එය ඒකක 23,000 සීමාව පසු කිරීමට සමත්ව තිබුණි.
එහි දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 158.99කින් ඉහළ ගොස් ඒකක 23,112.48ක් ලෙසින් සටහන් වූ අතර S&P SL 20 මිල දර්ශකය ඒකක 60.98කින් පහළ ගොස් ඒකක 6,310.26ක් ලෙසින් සටහන් විය.
අද සමාගම් 102ක කොටස් මිල ගණන් සියලු කොටස් මිල දර්ශකයේ හැසිරීමට ධනාත්මක දායකත්වයක් ලබා දී තිබූ අතර සමාගම් 130කින් ඒ සඳහා ලැබී තිබුනේ සෘණාත්මක දායකත්වයකි.
එහි දී සෙන්කඩගල ෆයිනෑන්ස්, NDB බැංකුව, Colombo Dockyard, ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සහ CT හෝල්ඩිංග්ස් යන සමාගම් සියලු කොටස් මිල දර්ශකයේ හැසිරීමට ඉහළ ධනාත්මක දායකත්වයක් ලබා දී තිබුණි.

අද ගණුදෙනු පිරිවැටුම දැක්වුනේ රුපියල් බිලියන 6.06ක් ලෙසයි.
එහිදී දේශීය මිල දී ගැනීම් රු. බිලියන 5.74ක් හා දේශීය විකිණුම් රු. බිලියන 5.70ක් ලෙසින් සටහන් වී තිබුණි.
මේ අතර විදේශීය මිල දී ගැනීම් රු. මිලියන 321ක් හා විදේශීය විකිණුම් රු. මිලියන 360ක් ලෙසින් දිනය තුළ සටහන්ව ඇත.
Video Story