කොටස් වෙළෙඳපොළ 12,000න් පහළට පසුබසී

    July, 4, 2024

    අද (04) දින ගනුදෙනු අවසානයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 12,000 සීමාවෙන් පහළට පැමිණෙන ලදී. එහිදී දිනය තුළ සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 110.55 කින් පහළ ගොස් දිනය අවසානයේ දී ඒකක 11,926.59 ක් ලෙසින් වාර්තා විය.

    2024 අප්‍රේල් 24 දිනෙන් පසු සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 12,000 සීමාවෙන් මෙපිටට පැමිණි පළමු අවස්ථාව මෙයයි.

    LOLC හෝල්ඩිංග්ස්, මෙල්ස්ටාකෝප්, සම්පත් බැංකුව, ලංකා දුම්කොළ සමාගම සහ නේෂන්ස් ට්‍රස්ට් බැංකුව යන සමාගම්වල කොටස් මිල පහළ යාම්, සියලු කොටස් මිල දර්ශකයේ කඩා වැටීමට වැඩි වශයෙන් හේතු වී තිබුණි. ඒ සමඟම සමාගම් 134 ක කොටස් මිල ගණන් ඊයේ දිනයට සාපේක්ෂව අද දින පහළ ගොස් තිබුණු අතර මිල ඉහළ ගොස් තිබුණේ සමාගම් 26 ක පමණි.

    රු. බිලියන 1.96 ක ගනුදෙනු පිරිවැටුමත් අද දින වාර්තා විය. එහිදී ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සමාගමේ රු. මිලියන 635.5 ක වටිනාකමකින් යුතු ගිවිසා ගනු ලැබූ කොටස් ගනුදෙනු සහ සම්පත් බැංකුවේ රු. මිලියන 265.12 ක වටිනාකමකින් යුතු සාමාන්‍ය වෙළෙඳපොළ ගනුදෙනු දෛනික පිරිවැටුමට ඉහළ දායකත්වයක් ලබා දීමට සමත්විය.