January, 23, 2025
කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ වාර්තා පිට වාර්තා තබමින් අද (23) පළමු වරට සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 17,000 සීමාව පසු කිරීමට සමත් විය.
ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 197.19කින් ඉහළ ගොස් ඒකක 17,025.99 ක් ලෙසින් සටහන් වූ අතර S&P SL20 මිල දර්ශකය ද යළිත් වරක් ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරමින් ඒකක 36.34කින් ඉහළගොස් ඒකක 5,183.96 ක් ලෙසින් සටහන් විය.
අද සමාගම් 118ක කොටස් මිල ගණන් ඉහළ ගිය අතර HNB, සෙන්ට්‍රල් ෆයිනෑන්ස් කම්පැනි, හේලීස්, සෙන්කඩගල ෆයිනෑන්ස් සහ LOLC හෝල්ඩිංග්ස් යන සමාගම් සියලු කොටස් මිල දර්ශකයේ හැසිරීමට ඉහළ ධනාත්මක දායකත්වයක් ලබා දී තිබුණි.
මේ අතර සමාගම් 105ක මිල ගණන් ඊයේ දිනයට සාපේක්ෂව අද පහළ ගිය අතර සම්පත් බැංකුව, NDB, DFCC බැංකුව, ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සහ එයිට්කන් ස්පෙන්ස් යන සමාගම් වලින් මිල දර්ශක වලට ලැබී තිබුනේ සෘණාත්මක බලපෑමකි.
අද ගනුදෙනු පිරිවැටුම දැක්වුනේ රු. බිලියන 9.78ක් ලෙසයි.
එහි දී HNB, ඇම්බියන් කැපිටල්, බ්‍රවුන්ස් ඉන්වෙස්මන්ට්ස්, මෙල්ස්ටාකෝප් සහ ඩිප්ඩ් ප්‍රඩක්ට්ස් යන සමාගම් වලින් දෛනික පිරිවැටුමට ඉහළ දායකත්වයක් ලැබී තිබුණි.
Video Story